Monday, March 6, 2017

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්......උණු දිය ස්නානාගාර......ජිම්ජිල්බං .......

මුලින්ම  කියන්න ඕනේ දෙවෙනි ආර්ටිකල් එක මෙච්චර ඉක්මනට ලියන්න උනන්දුවක් ඇති වුණේ, පළවෙනි  එක කියවපු අය දුන්න කොමෙන්ට්ස් හින්ද සහ කොමෙන්ටුවක් නොදැම්මත් ආර්ටිකල් එක කියවපු අය හින්ද කියලා. දවස් දෙකක් වගේ ඇතුළත  රටවල් දොළහකින් විතර තුන්සීයකට වඩා වැඩි දනෙක් ඒක කියවල තිබුණා. ඔක්කොටම ගොඩක් ස්තූතියි. මොකද ආධුනික ලියන්නෙකුට  ඒවගේ දේකින් ලැබෙන තෘප්තිය වෙන කිසිම දේකින් නොලැබෙන නිසා.

මෙවර කියන්න යන්නේ විදේශිකයෙක් දකුණු කොරියාවට ආවට පස්සේ අත්දකින්න ලැබෙන තවත් අමුතු ආකාරයේ දෙයක් ගැන. ටිකක් දිගයි හැබැයි. මේ ආර්ටිකල් එක කියවන සමහර අය මේ දිහා කොහොම බලයිද කියලා මම දන්නේ නෑ. ඒ හින්ද විශේෂයෙන්ම කියන්න ඕනේ, මං  මේ කියන දේවල් මේ මොහොතේත් ඒ ඒ රටවල්වල සංස්කෘතීන් හා සබැඳිව අතිශය සාමාන්‍ය අන්දමින් සිදුවන බව. උඩ  තියන වාක්‍ය දෙක ලියන්න පෙළඹුවේ ලාංකීය දූපත් මානසිකත්වය මා තුළත් තියෙන හින්ද කියලයි මට හිතන්නේ.

කොහෙන්ද පටන් ගන්නේ...සමහරවිට මෙහෙම හොඳ වෙයි. මං හිතනවා ඕගොල්ලොන්ගෙන් ගොඩක් දෙනෙක් අහල ඇති ජපානයේ ඔන්සෙන් උණුවතුර උල්පත් ගැන. ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ ගත සිත විඩා නිවන ස්නාන තටාක හැටියට. අපි කවුරුත් දන්නා විදිහට ජපානය කියන්නේ භූ තැටි කිහිපයක් එකට එකතුවෙන ස්ථානයක්. ඒ හින්දම එහෙ භූමි කම්පාත් වැඩියි. භූ තැටි එකට එකතුවන තැන් වලින් පෘථිවි ගර්භයේ පවතින උෂ්ණත්වය මතුපිටට කාන්දුවීමට පටන් ගන්නවා. මේ හින්දම පෘථිවිය මතුපිටට ආසන්නව පවතින භූගත ජල ප්‍රභවයනුත් රත්වෙලා ඒවා උල්පත්වලින් උඩට එන්නේ දුම් දමමින්. ජලයේ පවතින උෂ්ණත්වය හින්දම පසේ තියන විවධ ලවණ වර්ගත් සැලකිය යුතු අන්දමින් මේ ජලයේ දියවෙලා තමයි උඩට එන්නේ.

ඉතින් ඒ කාලේ ඉදන් ජපන්නු විශ්වාස කරා මේ උණු දිය උල්පත්වලින් ස්නානය කරොත් සමේ රෝග අඩුවෙලා ලස්සන වෙනවා කියලා. ඒ වගේමයි ශරීරය ලිහිල් වෙනවා කියලා. දැන් ඕගොල්ලොන්ට මතක්වෙනවා ඇති ලංකාවෙත් උණුවතුර ළිං තියනවනේ කියලා කන්නියා, මදුනාගල එහෙම. සමහරවිට ඒවගෙන් නාලත් ඇති. ඔව්, අන්න එවගේ ඒවා තමා. ඒවා හැදිලා තියෙන්නේ කොහොමද කියලත් පස්සේ හොයලා බලන්නකෝ.

දැන් ඉතින් කොරියාවට එමු. කොරියාවේ ජපානේ තරම් ස්වභාවික උණුවතුර උල්පත් නැති වූනත් අර කිවුව උණුසුම් ජලය සහිත ස්නානාගාර වලින් නම් අඩුවක් නෑ. හේතුව සමහර විට ජපන් සංස්කෘතියේ බලපෑම වෙන්න ඇති.  මොකද කාලයක් කොරියාව ජපනුන් විසින් යටත්කරගෙන සිටි රටක්. ඒ ඉතිහාසය එච්චර හොඳ එකක් නෙවේ. මෙහෙ අය අදටත් ජපනුන්ට බනිනවා. දහස් ගණන් කොරියානුවන් සමූල ඝාතනය කරා කියලා. රටේ සම්පත් සූරා කෑවා කියලා.

මේ දේවල් මාත් මුලින් දැනන් හිටියේ නෑ. පස්සේ මගේ කොරියන් යාළුවො ඒගොල්ලොන්ගේ මුතුන් මිත්තන්ගේ සමූහ මිනී වලවල් වල ෆොටෝ පෙන්නද්දී තමයි දැනගත්තේ. අද වෙද්දීනම් රටවල් දෙක අතර හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් තියනවා. එකත් ඉතින් රුසියාවට, චීනය සහ උතුරු කොරියාවට එරෙහිව කලාපීය ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. කලින් කිවුව විදිහට යටත්විජිත සමයේ ජපනුන්ගෙන් මෙහෙට ලැබිච්ච දේවල් අතර ඔය ස්නානාගාර, විවධ කෑම වර්ග දක්වන්න පුළුවන්. හරියට ලංකාවේ අපිට කොකිස්, අච්චාරු වගේ කෑමයි අරක්කු, වයින් වගේ බීමයි හම්බුනා වගේ.

කෝ ඉතින් තාම කියාගන්න ඕනේ වෙච්චදේ කියන්න බැරිවුණානේ. කොරියානු ස්නානාගාර. ඉංග්‍රීසියෙන් බාත් හවුස්. හැබැයි මෙහෙ කියන්නේ ජිම්ජිල්බං (Jimjilbang). කෙටියෙන් කිවුවොත් ජිම්ජිල්. ජිම්ජිල් කියන්නේ රත්වෙන කියන තේරුම. ගොඩක් ඒවා පැය 24 ම ඇරලා. නගරයක ඇවිදිද්දී හදිස්සියේ හොයාගන්න ඕනේ නම් හරිම ලේසියි. මොකද රතුපාට ඒකටම විශේෂ වූ ලාංඡනයක් නිතරම අදාල ගොඩනැගිල්ලේ මුදුනේ තියෙන හින්දා.
ඉහලින් දිස්වන සංකේතය

මං ඉතින් මුලින්ම මේක ගැන දැනගත්තේ මෙහෙමයි. මෙහෙ ආපු මුල් දවස්වල එහෙ මෙහෙ ගිහින් රට තොට විස්තර දැනගන්න පුදුම ආසාවක් තිබ්බේ. හේතුව, අලුත්ම සංස්කෘතියක්. භාෂාව, කෑම බීම, ආචාර විධි, ඇඳුම් පැළඳුම්, ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම, ඓතිහාසික ස්ථාන සහ මූර්ථි, චිත්‍ර වගේ කලාත්මක දේවල් වලත් අපිට නුහුරු නැවුම් ආගන්තුක බවක් තිබුණා. ඉතින් ඒ කුතුහලය හින්දම ලැබෙන පොඩි නිවාඩුවකදි  වුනත් කොහේ හරි යන්න තමා දඟලන්නේ. මගේ මහාචාර්යතුමත් ඉතින් මේ බව දැනන් හිටියා. හැබැයි ඉතින් එතුමා බයයි මං කොහේ හරි ගිහින් අතරමං වෙයි කියලා. දන්නා අය දන්නවා සමහර දේවල්වලට කොරියන් අය කොච්චර බයද කියලා.

ඒකට විසඳුමක් විදිහට එතුමාගේ සහයට හිටපු කොරියන් අක්ක (මෙහෙ භාෂාවෙන් "නූනා"), යන හැම තැනටම මට මැප් එකක් හදල දෙන්න ගත්තා. එකේ මං නවතින්න ඕන තැන්, කන්න ඕනේ දේවල්, ඒවා තියන තැන්, බස් නැවතුම්, දුම්රිය ස්ථාන ඔක්කොම ඇතුළත් වුණා. මුල් දවස්වල ගෙස්ට් හවුස්, හෝටල් වල නැවතුනත් පස්සේ මට තේරුණා ඒවා ගොඩක් ගණන් කියලා. අනික එහෙම ට්‍රැවල් කරණ කොරියන් අය, වැඩිය ඒවගේ නවතින්නෙත් නෑ. පස්සේ නූනා මට කිවුවා ජිම්ජිල්බං නම් ගොඩක් ලාබයි කියලා.

කොහොම හරි එක සතියක දවස් තුනක විතර නිවාඩුවක් සෙට් වුණා. එත් ඉතින් මං ඉන්න ජේජු දූපතෙන් පිටට යනවනම් රුපියල් වලින් අවම 6000 ක් වත් ගුවන් ගමනට යනවා. සල්ලිත් එච්චර අතේ තිබ්බෙ නැති හින්ද මං හිතුවා ජේජු දූපතේම දකුණු වෙරළ තීරය දිගේ විහිදිලා තියෙන සොගිපෝ සිටි එක පැත්තේ රවුමක් දාන්න. වැඩේ කියන්නේ මේවගේ ගමන් වලට මාත්  එක්ක යන්න කවුරුත් මෙහෙ නෑ. මේ ඉන්ස්ටිට්යුට් එකේ ඉන්න එකම විදේශික ශිෂ්‍යයා මම. අනික මේවගේ නිවාඩුවකට හොස්ටල් එකේ ඉන්න කොරියන් යාළුවෝ ඔක්කොම වගේ ගෙවල්වල යනවා. ගොඩක් අය රටේ මැද පදිංචි අය.

ඔන්න ඉතින් මේ පාර නූනා හදපු මැප් එකේ රෑට නවතින්න තිබුණේ ජිම්ජිල් එකක. උදේ ඉඳන් හවස් වෙනකන් ඇවිදලා ඒ පැත්තේ තියන ගොඩක් දේවල් බැලුවා. සොගිපෝ කියන්නේ ජේජු දූපතේ දෙවෙනි ප්‍රධාන සිටි එක. පළවෙනි එක ජේජු සිටි එක. සොගිපෝ මුහුද අයිනේම පිහිටලා තිබුනත් ඒ හරියේ ගොඩක් තැන්  මුහුදු මට්ටමින් මීටර් 10 ක් 15 ක් උසයි. ටිකක් දූපත ඇතුලට එද්දී මේ උස තවත් වැඩිවෙනවා. ඒ හින්දම ඒ පැත්තේ පාරවල් වල යද්දී ජනෙල් කවුළුවෙන්  හරි අගේට මුහුද පේනවා. හවසට නම් හරිම ලස්සනයි. ජනේලෙන් ඈත තෙල් සායම් චිත්‍ර වගේ. අනික ඒ නගරය ගොඩක් පිරිසිඳුයි. හොඳට නඩත්තු කරනවා. නවීන පන්නයේ ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ තියන ගොඩනැගිලි ගොඩක් තියනවා.  වසන්ත කාලේ හින්ද මං යන දවස්වල පාරවල් අයිනේ මල් පිරිලා.



සොගිපෝ 
කොහොම කොහොම හරි හවස් වෙද්දී මං ජිම්ජිල් එක හොයාගත්ත. ඒක තිබුන තැනත් විශේෂයි. ජේජු වර්ල්ඩ් කප් ස්ටේඩියම් එක යට. 2002 අවුරුද්දේ තිබුණ FIFA football වර්ල්ඩ් කප් මැච් වලින් කීපයක් මේකෙත් තිබිලා තියනවා. මේකේ තිස්පන්දාහකට වැඩි ආසන පහසුකම් තියනවා. හදල තියෙන්නේ ගිණිකන්දක විවරයක් වගේ. වහලේ හදලා තියෙන්නේ ජේජු වල තියන සම්ප්‍රදායික මාළු බෝට්ටු වල දැළක් වගේ. ස්ටේඩියම් එකට ඇතුළු වුණාම තේරෙනවා ඒක කොච්චර ලොකුද කියලා. කොරියානුවන්ගේ වර්තමාන ඉදිකිරීම් තාක්ෂණය කොච්චර දියුණුද කියලත් මට හිතුණා.


ජේජු වර්ල්ඩ් කප් ස්ටේඩියම් එක

ඔන්න ඉතින් එදා මගේ රාත්‍රී නවාතැන වෙච්ච ජිම්ජිල් එකේ කවුන්ටර් එක ගාවටම මම ඇවිත්. ඔක්කොටම කලින් මෙතැනදී සල්ලි ගෙවලා ඉන්න ඕනේ. කලින් කිවුව වගේ ලොකු ගානක් යන්නේ නෑ. එක රැයකට රුපියල් වලින් නම් 800 ක් වගේ. වැඩිම වුනොත් 1200 යි. ලොකර් ගාණ තමා ජිම්ජිල් එකේ දාන්න පුළුවන් උපරිම කැපෑසිටි එක. සල්ලි ගෙවුවට පස්සේ ඇතුලෙදි අඳින්න අපේ සයිස් එකට හරියන සැහැල්ලු ටී ෂර්ට් එකකුයි කොට කලිසමකුයි හම්බෙනවා. ඒකත් විශේෂයි. ගොඩක් ඒවගේ පිරිමි අයගේ ඇඳුම් නිල් පාටයි. ගැහැණු අයගේ ඒවා රෝස පාටයි. හැබැයි ඉතින් දෙකම කලිසම් සහ ටී ෂර්ට් තමා. චූටි බබාලටත් ඇඳුම් තියනවා.

ඇතුළෙදි අපේ බඩු සහ ඇඳුම් පැළදුම් දාන්න ලොකර් එකකුත් හම්බෙනවා. අන්න එකේ යතුරත් මේ වෙලාවේම අපිට දෙනවා. තවත් දෙයක්. ජිම්ජිල් එක ඇතුළට සපත්තු සෙරෙප්පු දාගෙන යන්න බෑ. අර ලොකර් යතුරෙන්ම අරින්න පුළුවන් තවත් පොඩි ලොකර් එකක් කවුන්ටර් එක ගාවම තියනවා. ඒකට තමා සපත්තු දාන්නේ. සාමාන්‍ය ප්‍රමාණයේ ජිම්ජිල් එකක මේවගේ ලොකර් 200 ක් විතර තියනවා. ලොකු ඒවගේ නම් 900 ක් 1000 ක් විතර. ඒ කිවුවේ එකපාර්ශවයකට. ගැහැණු අයටත් ඒ වගේම තියනවා.

කවුන්ටර් එක (from internet)

කවුන්ටර් එක ගාව සපත්තු දාන ලොකර් එක (from internet)
ඇතුළට ගිය ගමන් ලොකර් ඒරියා එකෙන් මගේ යතුරට අදාල ලොකර් එක හොයාගත්ත. ඊට පස්සේ ඉතින් බඩු  ටික ඒකට දාල නාගන්න ලෑස්ති වුණා. කලින් කිවුව වගේම මේ නෑම විශේෂයි. ඇඟයි ඔළුවයි දෙකම සැහැල්ලු කරගන්න පුළුවන්. ස්නානාගාරය තියෙන්නේ ලොකර් ඒරියා එකෙන් වෙනම. වීදුරු දොරවල් දාල ඒවාට යන්න පහසුකම් හදලා තියෙන්නේ. ඒ දොරවල් නිතරම වහලා තියෙන්නේ. මොකද ස්නානාගාරය ඇතුලේ උණුවතුරෙන් නැගෙන හුමාලය ලොකර් ඒරියා එකට එන එක නවත්තන්න.

ඔන්න ඊළඟ දේ. ස්නානාගාරය ඇතුළට ඇඳුම් ඇඳන් යන්න තහනම්. කොටින්ම කිවුවොත් නාන්න තියෙන්නේ ඇඳුම් නැතුව. මොනවා කරන්නද ඉතින්...ඔන්න ඔහේ ඕන එකක් කියල ගලවලා මාත් ඇතුළට ගියා. ඇතුළ බොහොම පිරිසිඳුයි. හැමදාම රෑට මුළු බාත් හවුස් එකම පිරිසිඳු කරනවාලු. දවසට දෙපාරක් පූල් වල වතුර මාරුකරනවලු. මේ පිරිසිඳු කිරීමට යොදාගන්නෙත් සෞඛ්‍ය ආරක්‍ෂිත පිරිසිඳුකාරකලු.

ඉස්සෙල්ලාම කුණු අතුල්ලලා හොඳට ෂවර් එකෙන් නාගන්න ඕනේ. එහෙම නාන්න ෂවර් පේළි කීපයක්ම ඇතුළේ තියනවා. දත් මදින්නත් ඕනේ. සබන් ෂැම්පු බොඩි වොෂ්, ටූත් පේස්ට් ...මේ ඔක්කොම ඇතුළේ තියලා තියනවා. ඕනේ නම් ලුණු කුඩුත් තියනවා දත් මදින්න. මං හිතන්නේ කොරියානුවන් සම්ප්‍රදායිකව ලුණු කුඩු වලින් දත් මදිනවා ඇති.  හොඳට ඉඩ තියෙන්න තමා ඇතුළ හදල තියෙන්නේ. ඒ වෙලාවෙත් 50 ක් 60 ක් විතර හිටියා. පොඩි ළමයින්ගේ ඉඳන් වයසක සීයල වෙනකන්. බාත් හවුස් එක හරි මැද උණු වතුර පොකුණු තුනක්. ඒවගේ උෂ්ණත්වය එකින් එකට වෙනස්. පොකුණේ උෂ්ණත්වය ඩිජිටල් ස්ක්‍රීන් එකක පේන්න තියනවා. මතක විදිහට සෙන්ටිග්‍රේඩ් 38, 40,  60  42 වගේ. රස්නේ වැඩිම පූල් එකෙන් (42C) දුම් දානවා.  සිවිලිමේ තියන ලයිට් සෙට් වලින් ඇතුළට සෞම්‍ය එළියක් එක්කරනවා.
උණු වතුර පොකුණු(from internet)

හොඳට නාගත්ත මං උණුවතුර පූල් එකකට බහින්න ලෑස්ති වුණා. මුලින් රස්නේ බලලා හොදයි කියල හිතෙන එකට යන්න පුළුවන්. 40 යි 60යි කියන්නෙත් පිච්චෙනවා වගේ. මට හරිගියේ 38. ඒකට බැස්සා. මුලින් කකුල් දෙක දාගෙන ටිකක් වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉන ගාවට එනකන් බහිනවා. ටික වෙලාවකින් මුළු ඇඟම වතුරේ ගිල්ලනවා. අම්මෝ.... දැනෙන සනීපෙ. මං දැක්ක සමහර වයසක අය නම් කෙලින්ම අර 60ටේ  පුල් එකටම බහිනවා. හපොයි..! අපි එහෙම බැස්සොත් පිච්චිලා මැරෙයි. හැබැයි ඉතින් හුරු උනාම ගානක් නෑ. මොකද පොඩි එවුනුත් ඒවාට බහිනවා.

මං දැනගත්ත විදිහට, මේ උණුවතුර පූල් වලට ඇඳුම් අඳින්නේ නැත්තේ හේතු දෙකක් හින්දා. ඇඳුම් පිටින් බැස්සොත් රෙදිවල තියන විවිධ කෙමිකල් වර්ග මේ වතුරට එකතු වෙනවා....ඒවා සමේ අසාදන වලට හේතු වෙන්න පුළුවන්. අනික ඇදුම් ඇඳන් ඉන්න කාගේ හරි සමේ රෝගයක් තිබුණොත් ඒක ඔක්කොටම බෝවෙන්නත් පුළුවන්. මොකද කාටවත් ඒක පෙන්නේ නෑනේ. උනුවතුර පූල් එකේ විනාඩි 15ක් විතර ඉඳලා ඊටපස්සේ සෝනා (sauna) එකට යන්න ඕනේ කියල හිතුණා. සෝනා කියන්නේ උණුසුම් කරපු කුඩා කාමර. මේවා වර්ග දෙකක් තියනවා. වියළි සහ තෙත්. වියළි එකේ හීටරයකින් කාමරය රත් වෙන්නේ. තෙත් එකේ හුමාලයෙන්. වියළි ඒවාගේ ඇතුළ ලී වලින් හදලා තියෙන්නේ. බිම, බිත්ති, වහළ ඔක්කොම. ස්ටීම් සෝනා එක ගොඩක් වෙලාවට තිරිවානා ගල් ඔබ්බපු බිත්ති සහ වහලෙකින් තමා දකින්න පුළුවන්. මං කැමති ස්ටීම් සෝනා එකට. හුමාලයෙන් හමේ සිදුරු ඇරෙනවා. දාඩිය දානවා හොඳටම. ඇඟේ පරිවෘතීය ක්‍රියා වල වේගය වැඩි වෙනවා. කොරියානුවන් විශ්වාස කරනේ මේ හින්ද දාඩියත් එක්ක ඇඟේ තියන විෂ පිටවෙනවා කියලා. ඒ හින්ද විශේෂයෙන්ම දහඩිය නොදාන ශීත කාලයේ මේගොල්ලෝ මේවට වැඩිපුර එනවා.

වියළි සෝනා (from internet)

ඔය අතරේදී ඉංග්‍රීසි දන්නා අය මත එක්ක කතා කරනවා. එහෙම අය ගොඩක් අඩුයි. එත් දන්නවනම් ඒගොල්ලෝ අනිවාර්යයෙන් කතාකරනවා. කොහෙන්ද ආවේ... මොකද කරන්නේ.....ඔය වගේ දේවල්....පස්සේ පස්සේ මං එගොල්ලොත් එක්ක කතාකරන්න පටන් ගත්තා කොරියන් වලින්...ඒකට ඒගොල්ලෝ හරිම ආසයි....ඕගොල්ලොන්ට නම් මේක මහා අමුතු දෙයක් වගේ දැනෙනවා ඇති....උපන් ඇඳුමෙන් ඉන්න ගමන් මිනිස්සුන්ව අදුරගන්න එක.

සෙන්ටිග්‍රේඩ් 38 ටේ පූල් එකේ වයසක අන්කල් කෙනෙක් මගෙන් ඇහුවා කොහෙන්ද ආවේ කියලා. මං ඉතින් විස්තර කිවුවා. ඊට එහාපැත්තෙන් එයාගේ පුතා. අන්කල් මට පුතාවත් අදුන්වල දුන්නා. එයත් මගේ වයසෙමයි. හැබැයි මාස්ටර් ඩිග්‍රී එකත් කරලා. ඇමෙරිකාවේ කරලා තියෙන්නේ. දැන් සෝල් වල ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ලු. අන්කල් ඉගෙනගෙන තියෙන්නේ මැටීරියල් සයන්ස් කිවුවා. එයාගේ ඉන්ස්ටිටියුට් එක තියෙන්නෙත් මගේ යුනි එක ළඟමයි. මගෙන් ඇහුවා මැත් ලැබ් සොෆ්ට්වෙයාර් එක දන්නවද කියලා. ඒගොල්ලොන්ගේ කාලෙලු ඒක පාවිච්චි කරන්න පටන් ගත්තේ. අන්කල් ගියා අපි දෙන්නට කතාකරගන්න කියලා. පුතා කිවුවා එයා සෝල් ඉන්න හින්ද නිතරම අම්මයි තාත්තයි බලන්න වෙන්නේ නෑ කියලා. මාසෙකට සැරයක් ගෙදර එනවලු. මගෙන් ඇහුවා කොරියාව කහොමද කියලා...ගෙදර අයයි ...කෑම බීම එහෙම මතක්වෙනවා ඇති නේද කියලා......කොහොමහරි ගොඩක් දේවල් කතා කරලා අන්තිමට සුබපතලා එයා ගියා. ඔක්කොම ඉතින් උපන් ඇඳුමෙන්. හාහ් හා.....

අහ්....මේ වෙලාවේ මට මතක් වෙනවා අපිට කොරියන් භාෂාව උගන්නන මහාචාර්යතුමිය කිවුව දෙයක්. වින්ටර් එකේ නම් එයා සතියට පාරක් සෝනා යනවලු. අපෙනුත් ඇහුවා ගිහින් තියනවද කියලා. එතකොට මං එක පාරක් ගිහින් තිබ්බා. මං කිවුවා ඔව් කියලා. අනිත් තුන්දෙනා සද්ද නෑ. එතකොට තමා මහාචාර්යවරියට තේරුණේ වැඩේ. ඒ තුන්දෙනාම මුස්ලිම්. ඒගොල්ලොන්ට ඇඳුම් ගලවන්න බෑනේ. ඊට පස්සේ මහාචාර්යතුමිය ඇහුවා ඔගොල්ලොන්ගේ රටවල්වල පබ්ලික් බාත් හවුස් තියනවද කියලා. ඒකට ඉතින් ඔක්කොමලා නෑ කිවුවා. යාළුවෝ දෙන්නෙක් ඉන්දුනීසියාවේ. අනික් කෙනා පාකිස්තානේ. කොහොමහරි එදා මහාචාර්යතුමිය මට කිවුව ...ඊළඟ අවුරුද්දේ යුනිවර්සිටි එකේ කොරියන් කථික තරඟෙට ජිම්ජිල් එකේ එක්ස්පීරියන්ස් එක දාලා කතාවක් හදන්න කියාලා. ඇත්තම කිවුවොත් මේ දවස්වල මං ඒක පුරුදු වෙනවා.

සෝනා එකෙන් පස්සේ ගොඩාක් අය සීතල පූල් එකට පනිනවා. එකනම් ටිකක් අමාරුයි. එකපාරටම ඇඟ කූල් වෙලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝ නම් මාරුවෙන් මාරුවට සීතල සහ රස්නේ පූල් වලට මාරු වෙවී ඉන්නවා. එකෙන් ඇඟේ කැලරි දහනය වෙනවා කියල තමයි කියන්නේ. ඒකියන්නේ කෙට්ටු වෙන්න කැමති අයට හොඳයි. ඇඟට මහන්සියක් දැනුනොත් දිගාවෙලා නිදාගන්න තැනුත් තියනවා. ලැජ්ජා වෙන්න දෙයක් නෑ. ඔක්කොම ඉන්නේ උපන් ඇඳුමෙන්නේ.

මට නම් ගියාම අපහසුම දේ හොරෙන් හොරෙන් මෙහෙ අය බලන එක. කොරියාවේ සංචාරය කරපු විදේශිකයෙක් තමන්ගේ බ්ලොග් අඩවියේ මෙහෙම ලියලා  තිබ්බා මං දැක්කා. "ජිම්ජිල් එකේ නානකොට මට හිතුනේ මං නිකන් පිට රටක විලකට ආපු සංචාරක පක්ෂියෙක් වගේ '' කියලා. විශේෂයෙන් අපේ හම කළු හින්ද කහපාට කොරියානුවන් අතරින් කැපිලා පේනවා. පොඩි එවුන් නම් කට ඇරන් බලන් ඉන්නවා. සමහර පොඩි කට්ටිය ටික වෙලාවකින් මාත් එක්ක හොඳට යාළු වෙනවා.

ලොකු පොඩි කියලා...අයියා මල්ලී  කියලා ....තාත්තා පුතා කියලා වෙනසක් නෑ.... ඔක්කොම උපන් ඇඳුමෙන් නානවා. ඒවගේමයි...පිටවල් අතුල්ලගන්නවා...ඒ වෙලාවට හැමෝම මිනිසා කියන සතා පමණයි...ඇඳුම් ආයිත්තම් වලින් අලංකාර කරගත් ඇඟ ...සමහර වෙලාවට අපේ නිලය...වත් පොහොසත්කම මනින දෙයක්නේ...ඒත් මට හිතෙනවා මේ සංස්කෘතිය අපිට කියලාදෙනවා කියලා ...හැමෝම මිනිස්සු....ඉපදෙනවා....මැරෙනවා...කියන එක....එක් කෙළවරක තමන්ගේ වයසක තාත්තාගේ පිට අතුල්ලන තරුණ පුතා ...තවත් තැනක අවුරුදු දෙකක් වගේ වයසේ පොඩි පැට්ටෙක් වඩන් ඉන්න තාත්තා කෙනෙක්...මටනම් ඉතින් පූල් එකේ බැහැල සනීපෙට ඉන්න ගමන් හිතන්න දේවල් ගොඩයි....

වෙලාවකට හිතෙනවා මෙහෙදී පවුලේ කට්ටිය අතර තියන සම්බන්ධතාවය කොච්චර ශක්තිමත්ද කියලා...මේගොල්ලෝ එකිනෙකාට ආදරය ප්‍රකාශ කරන්න පැකිලෙන්නේ නෑ...සමහර දවස්වලට අපේ කොරියන් ක්ලාස් එක ඉවර වෙද්දීත් කියන්නෙත්  "කියුසුනීම්...සාරාං ඉයෙයියෝ.."...ඒ කියන්නේ කොරියන් වලින් මහාචාර්යතුමියනි...ඔබට ආදරෙයි කියල.

ඔක්කොම පූල් වලින් නාලා ...සෝනා එකෙත් ඉඳලා ...අන්තිමට ආයෙත් කුණු අතුල්ලලා හොදට නාගන්න ඕනේ. කුණු අතුල්ලන්න පාවිච්චි කරන පොඩි රෙදි පටිත් එතන තියනවා. උණුවතුරෙන් පෙඟිලා හින්ද මැරුණු හම හොඳට අයින් වෙනවා. කොරියානුවන් නම් මේ දෙවෙනි වර නාන එක පැය බාගයක් විතර කරනවා. ශරීරයේ හැම කොටසක්ම හොඳට අතුල්ලලා නාගන්නවා. එහෙම කරන්න කම්මැලි නම්...බාත් හවුස් එක ඇතුලෙම ස්ක්‍රබින් කරන කෙනෙක් ඉන්නවා. ඕනේ නම්,ස්පෝර්ට්ස් මසාජ් එකක් කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් වෙනම ගෙවන්න ඕනේ. රුපියල් වලින් 2000 ක් විතර.

මං ඉතින් නොර්මල් එකේ නනා ඉන්නකොට , තවත් අන්කල් කෙනෙක් ඇවිත් කතාවට වැටුණා. එයත් ජේජු දූපතේ ට්‍රැවල් කරන්න ඇවිත් සෝල් ඉඳන්. මගෙන් ඇහුවා ස්ක්‍රබ් එක ට්‍රයි කරලා තියනවද කියලා. මං  ඉතින් නෑ කිවුවා. ඊට පස්සේ එයා මාව එතනට එක්කන් ගිහින් එයා ගානේ ස්ක්‍රබ් එකක් අරන් දුන්නා. ගොඩක් වෙලාවට ජිම්ජිල් වල සේවය කරන අය චීන ජාතිකයෝ. පිරිසිඳු කරන්න, ස්ක්‍රබ් කරන්න ඉන්නෙත් එගොල්ලොමයි. හේතුව නම් හරියටම දන්නේ නෑ. කොහොම වුනත් අර අන්කල් ඒ මනුස්සයට මගේ විස්තරත් කිවුවා. විශේෂයෙන්, ඉගෙන ගන්න ආපු කෙනෙක් කියලා. අම්මෝ අතුල්ලනවා අතිල්ලිල්ලක් ...හම ගැලවෙන්න. පළවෙනි පාර හින්දද දන්නේ නෑ. රිදුනත් එක්ක.

ස්ක්‍රබ් කිරීම (from internet)
අර අන්කල් මාත් එක්ක ගොඩක් යාළු වුණා. එයා ප්‍රයිවර්ට් කම්පැනි එකක බිස්නස් ප්ලෑනින් ඇඩ්වයිසර් කෙනෙක්. බාහිර කථිකාචාර්ය කෙනෙක් විදිහටත් වැඩ කරනවා. එනකොට එය ඇවිත් තියෙන්නේ නැවෙන්. කාර් එකත් අරගෙනම. දෙවෙනි දවසේ එයත් එක්ක ට්‍රැවල් කරන්න කියලත් මට ඉන්වයිට් කරා. පස්සේ දවසක සෝල් වලදීත් එයාව හම්බුණා. එයාට ඉන්නේ දුවයි පුතයි. විශේෂ දෙයක් තියනවා. හනිමූන් එකට එයාලා ගිහින් තියෙන්නේ කැලිෆෝර්නියා වලට. හනිමූන් එකේ දෙවෙනි දවසේ මේ මනුස්සයා ස්කයි ඩයිවින් කරලනේ.....අර ප්ලේන් එකේ උඩ ඉදන් බිමට පනින්නේ....වයිෆ් උඹට ඕනේ නම් මැරියන් කිවුවලු....මටනම් හිතාගන්නත් බෑ....සෝල් ගිය වෙලාවේ එයා මාව එක්කන් ගියා එයාගේ ඇඩ්වයිසස් අරන් සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ගාවටත්. දැන් හිතනකොට.... ඔය ඔක්කොම දේවල් ජිම්ජිල් එක හින්දනේ.

හොඳට නාගත්තට පස්සේ බාත් හවුස් එකෙන් එලියට ආවා. එලියට එද්දිම තුවා තියනවා පිහගන්න. ඇතිතරම් තියනවා. හැබැයි ගැහැණු අයගේ පැත්තේ නම් මේක ටිකක් වෙනස්ලු. එක්කෙනෙක්ට හම්බෙන්නේ තුවා දෙකයිලු. හේතුව දන්නවද...ඉස්සර ඇති තරම් ගන්න දීලා ..ඒගොල්ලෝ ඒවා හොරෙන් ගෙදර ගෙනිහින්. ඊට පස්සේ ඉතින් දෙකයි හම්බෙන්නේ. පිහාගත්තට පස්සේ මිරර් ඒරියා එක. දිගට සවිකරපු ලොකු කණ්නාඩි තියනවා. ඒවා ඉස්සරහ ක්‍රීම් , ආෆ්ටර් ෂේව් , කොටන් බඩ්ස් ...හෙයාර් ක්‍රීම් ...තියනවා. කොන්ඩේ වේලාගන්න හෙයාර් ඩ්රයර් එහෙමත් තියනවා. එතන වැඩ ඉවර වෙලා අන්තිමට අර ඇඳුම ඇඳගන්නවා. ඔක්කොමලා එකවගේ ඇඳගෙන ඉන්නේ. ඒකත් මරු. ඊටපස්සේ බඩගිනියි වගේ දැනුණ හින්ද මොනවහරි කන්න තැනක් බැලුවා. ඊට වඩා තිබහයි. ඇයි දාඩිය දැම්මනේ.

නිදාගන්න තියෙන්නේ වෙනම තට්ටුවක. එක ගොඩක් ලොකුයි. ලස්සනට හදල තියනවා. එක ඇතුළෙම ස්නැක් බාර් එකක් සහ වෙනම ප්‍රධාන ආහාර වේල් තියන රෙස්ටුරන්ට් එකකුත් තියනවා. කෑම ගණනුත් නෑ. ස්නැක් බාර් එකේ විවධ බීම වර්ග...කෙටි කෑම... අයිස්ක්‍රීම් එහෙම තියනවා. ශිකේ කියල බත් සහ බාර්ලි දාල හදන බීමක් තියනවා. මම බොන්නෙත් ඒක. සීනි ලුණු එක්ක කූල් කරලා එහෙම හදලා තියෙන්නේ. තිබහට ගොඩක් හොඳයි. තව බේක් ක‍රපු කිකිළි බිත්තරත් තියනවා. ඒවා දුඹුරු පාටයි. සම්ප්‍රදායක් විදිහට මේගොල්ලෝ බිත්තර  කාල ශිකේ බොනවා. අහ්හ්... තව ග්‍රීන් ටී  එහෙමත් තියනවා. බිත්තරේ කට්ට කඩන්නේ  කාගේ හරි ඔලුවට ගහල....ඒ විහිලුවට....විශේෂයෙන්ම තරුණ අය....

ස්නැක් බාර් (from internet)

පෝක් කට්ලට් (තොන්  කස්ස)
නිදාගන්න තියන ඒරියා එක ගැහැණු පිරිමි ඔක්කොටම පොදුයි. පොඩි කොට්ට වගේ ඔළුවට තියාගන්න පුළුවන් ඒවා තියනවා. තව පැදුරු වගේ රෙදිවලින් හදපු බිමට එලාගන්න ඒවා තියනවා. ඒ දෙක අරන් තමන්ට කැමති තැනකින් නිදාගන්න තියෙන්නේ. රෑ වෙද්දී ලයිට් නිවනවා. ඔක්කොම නෙවේ. ටිකක්. තව ඕනේ නම් මෙතනත් උෂ්ණත්වය වැඩි කාමර තියනවා නිදාගන්න. සෙන්ටිග්‍රේඩ් 30, 35 වගේ. ඒවාට කියන්නේ "බුල්ගාමා" කියලා. ඇතුළ සුවඳයි. ඖෂධීය ගුණයක් තියන ගස් වර්ගයක ලීයෙන් ඒවා හදල තියෙන්නේ. අර සුවඳ සිත කය දෙකම ලිහිල් කරනවා. සමහර කාමර වල ඒ ගස්වල දර වලින් පෝරණුවක් දැල්වෙනවා. විශේෂයෙන් ශීත කාලයේ. සෝල් වල මං ගිය එක ජිම්ජිල් එකක හිම කාමරෙකුත් තිබ්බා...ඇන්ටාර්ක්ටිකාවට ගියා  වගේ.
 
ස්ලීපින් ඒරියා එක (from internet)
"බුල්ගාමා" නැත්නම් රස්නේ කාමර (from internet)

හිම කාමරේ (from internet)
එකපාරක් කොරියාවේම ඉන්න මගේ යාළුවටත් මේ අත්දැකීම අරන් දෙන්න ඕනේ වුණා. කලින් එයාට කිවුවේ නෑ රෑට නවතින්නේ ජිම්ජිල් එකක කියලා. කොහොම හරි හවස්වෙද්දී මං කිවුවා. එයාටත් වැඩි ගානක් නෑ. එදා අපි ගියේ සෝල් වල තියන ප්‍රසිද්ධම ජිම්ජිල් එකට. "ඩ්‍රැගන් හිල් ස්‌පා" එකේ නම. යොන්සාන් සබ්වේ ස්ටේෂන් එකෙන් එලියට එද්දිම දකුණු පැත්තෙන් පේන්න තියනවා. තට්ටු හයක සුපිරි ජිම්ජිල් එකක්. එළියේ ස්විමින් පූල් එකකුත් තියනවා. කවුන්ටරේට සල්ලිත් ගෙවුවට පස්සේ තමා මං යාළුවට කිවුවේ කොහොමද ජිම්ජිල් එකේ ඉන්න ඕනේ කියලා. අහ්... කියන්න බැරිවුණානේ. එයා ගැහැණු ළමෙක්. හැබැයි සම්ප්‍රදායික නෑ. වැලයන පැත්තට මැස්ස ගහන කෙනෙක්.

අන්තිමේදී මං ඇහුවා කොහොමද එක්ස්පිරියන්ස් එක කියලා. මොනවා වුණත් අපි ඉතින් ලැජ්ජයිනේ. එයාටත් යාළුවෝ හම්බෙලා. චීනේ කෙල්ලෙකුයි කොරියවේම කට්ටියකුයි. කොරියාවේ එක්කෙනා නම් පූල් එකේ කණ්ඩියක් උඩට වෙලා බීම එකක් බිබී හිටියා කිවුවා. ඒ වතාවේ මට විදේශිකයෝ ගොඩක් හම්බුණා. ශිෂ්‍ය හුවමාරුව යටතේ මෙහෙට ආපු ඇමෙරිකන් කොල්ලෝ තුන් දෙනෙක්...රුසියානු සංචාරකයෝ කීපදෙනෙක්, යුක්රේන් ජාතික ශිෂ්‍යයෝ දෙන්නෙක් සහ අප්‍රිකානු රටක කළු ජාතිකයෙක්. මෙහෙදී විදේශිකයෙක් හම්බුනා කියන්නේ කතා සාගරයක් තමා. මොකද ඔක්කොම ඉන්නේ කතාකරන්න කෙනක් නැතුව. වටපිට ඉතින් කොරියන් ඔන්ලි නේ....


ඉතින් බලන්න.....ජිම්ජිල් එකක නවතිනවානම් අපේ බෑග් එකේ බර කොච්චර අඩුවෙනවද...කලින් විස්තර කරපු කිසිදෙයක් ගෙන්න ඕනේ නෑ. හොටෙල්, ගෙස්ට් හවුස් වගේ ගණනුත් නෑ. කන බොන දේවලුත් ඇතුළේම තියනවා..කියන්න අමතක වුණා . එක්සර්සයිස් කරන අයට ජිම් එකකුත් තියනවා.....ඔන්න ඕව හින්ද තමා මෙහෙ අයත් ජිම්ජිල් වලම නවතින්නේ...නැත්තම් පුරුද්දක් විදිහට පවුල් පිටින් සති අන්තේ දවසක් ගතකරන්න එන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හින්දම ජිම්ජිල්බං කියන දේ වර්තමානයේ කොරියාව තුළ හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ඒ හින්දම ඇතිවෙලා තියන තරඟකාරීත්වය ඒවගේ ගුණාත්මක බව වැඩිවෙන්නට හේතුවෙලා.

දැන් ඉතින් ඇති...කොරියාවේ ඉන්න තාමත් ජිම්ජිල් ගියෙ නැති අයටත්... එන්න ඉන්න අයටත්....අඩු වියදමෙන් කොරියාවේ ට්‍රැවල් කරන්න ඉන්න අයටත්... මගේ කතා අහන්න කැමති අයටත්.....ටිකක් දිග වුනත් මේ විස්තරය වැදගත් වෙයි කියලා හිතනවා... බොහෝවිට මෙහෙම දෙයක් ලියැවෙන පළවෙනි අවස්ථාවත් මේක වෙන්න ඇති.

අන්තිමේදී දවසේ එකතු කරගත්ත මතකයි.....හෙට දවසේ දල සැලැස්මයි එක්ක සැහැල්ලු සිතින් මාත් නින්දට වැටුණා.


**************© සියළුම හිමිකම් ඇවිරිණි.****************

මේකත් කියවන්න:










76 comments:

  1. අඩේ මරුනේ ඔහොම එකක් අහලම තිබුන්නැනේ

    ReplyDelete
    Replies
    1. අහ්...එහෙනම් වැඩේ ගොඩ...කට්ටිය කියවයි ...බොහොම ස්තූතියි කොමෙන්ටුවට...සහ සින්ඩිකේටරයේ අනුග්‍රහයට......

      Delete
  2. හරිම ලස්සන කතාවක්. සජීවීව මාත් අත්දැකීම වින්දා වගේ.................
    Go Ahead aiyaa............!!!!

    ReplyDelete
    Replies
    1. thank you මල්ලී.....ඕගොල්ලෝ වගේ කියවන අයටමයි ලියන්නේ....

      Delete
  3. මරු.....තවත් ලියන්නට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...! විශේෂයෙන් අයියගේ මඟපෙන්වීමට........

      Delete
  4. මරු අමරින්. ජිම්ජිල් එකකින් නාගත්තා වගේ සනීපයි. ජිම්ජිල් එකකට වගේම ටර්කිෂ් බාත් එකකට යන්නත් ආස හිතුනා. මට හිතාගත්ත හැකි කොච්චර සනීපයක්ද කියලා. මම කොන්ඩේ කපන්නේ ට්‍රැඩිශනල් බාබර් ශොප් එකකින්. ඒක ටර්කිශ්. කොන්ඩේ කපලා ඒ සාත්තුව දීලා ඉවරවුනාම, පුදුම සැහැල්ලුවක් තියෙන්නේ. ඔලුව නැහැ වගේ. කොහොමත් ඔලුවක් නැහැනේ. පවුම් විස්සක් ගෙව්වට පාඩු නැහැ. ඒ බාබර් බුවා තමයි මට ටර්කිශ් බාත් ගැන කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියෙව්වාට......අනිවාර්යයෙන් යන්න.....හරිම සනීපයි....ඔන්න ඔහෙ කමක් නෑ...අද කාලේ ලංකාවෙ නම් ඔලුවට වට වඩා ඇඟනේ මාර්කට් ...හාහ් හා....

      Delete
    2. කොරියාවේ කොන්ඩේ කපන සැලුන්වල වැඩ කරන්නේ වැඩිපුරම ගෑනු අය.(නුනලා - අක්කලා අජුම්මල - ඇන්ටිලා )
      එයාල හැම කෙනෙක්ම වගේ කොන්ඩේ කපන අතරේ අපේ තොරතුරු විමසනවා. බැඳලද දරුවෝ කීයද? දරුවන්ගේ වයස පවුලෙන් වෙන් වෙලා කොරියාවේ ගතකරනකොට දුකයිද? කොම්පැනියේ පඩිය කීයද? ගෙදරට සල්ලි යවනවද? වගේ ප්‍රශ්න අහනවා... කොන්ඩේ කපල ඉවර වෙලා ඔලුව සෝදන්නම විශේෂයෙන් හදපු සින්ක් එකකට ඔලුව නමල ෂැම්පු කරලා හෝදනවා.... එතකොට දැනෙන සනීපෙ වචනයෙන් විස්ත්රකරන්න බෑ....

      Delete
    3. ඔව්...අනිවා ඔය කිවුව ඒවා ටික අහනවා. කොන්ඩේ කපන්න ගිය පළවෙනි පාර මං මගේ යාලුවන්ටත් කිවුවා....මගේ ඔලුව හේදුවේ ගැහැණු කෙනෙක් කියලා.....මොකද එක අපිට අලුත් නේ....

      Delete
  5. ලස්සනයි අයියේ. ඇත්තටම දැනුන. Keep writing. And best wishes for the comming speech contest.

    ReplyDelete
  6. මාත් අවුරුදු පහක් කොරියාවේ හිටියා එත් සවුණා යන්න බැරි උනා. එත් අපි වැඩ කරපු හුන්ඩායි නැව් කොම්පැනියේ උල්සාන් යාඩ් එකේ තිබුනා ලොකු උණුවතුර නාන තටාක. අපිට නම් ඔය හැමදේම විඳ ගන්න ලැබුනේ නොමිලේ... කොම්පැනිය ගානේ.....කොරියාව ලස්සන රටක් ඒ මිනිස්සුත් බොහොම කාරුණික හදවත් ඇති අය. හැබැයි වැඩ කරන කොට නම් යක්කු වගේ සැරයි. එත් අපිත් එයාලගේ වේගෙන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ කිසිම ගැටළුවක් නෑ. එයාලගේ විනෝදාංශය තමයි වැඩ කරන එක. එකම වේගයෙන් වැඩක් අවසන් වනතුරු සාර්ථකව සතුටින් එයාල වැඩ කරනවා.කොරියාවේ මම ගතකරපු කාලය ඇත්තටම ලස්සන හීනයක් වගේ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.....මං ආපු දවස්වල රෑ වෙනකන් එක දිගට වැඩ කරන එක....පට පට ගාල එහෙට මෙහෙට දුවන එක...හරිම අමුතුයි.....කොටින්ම කිවුවොත් මේ මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැද්ද කියලා හිතුණා ....මගේ මහාචාර්යතුමත් සමහරදාට පාන්දර 2 විතර වෙනකන් වැඩ....පස්සේ මාත් හුරු වුණා .....මෙහෙ මාස 6ක් විතර ඇද්ද ප්‍රොජෙක්ට් එකක්...මං තව නුනා කෙනෙක් එක්ක මාස 3න වගේ ඉවර කරා ...ඉතින් මහාචාර්ය තුමාටත් ඊට වැඩ දෙයක් නෑ ....

      Delete
  7. දිගටම ලියන්න හරිම අශ්වෙන් කියවනවා... අතරමැදදී.... මගේ අත්දැකීමුත් කමෙන්ට් කරන්නම්කො ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි.......දැන් ඉතින් කොරියාව ගැන බොරු ලියලත් ඉවරයි.......හාහ් හා........

      Delete
  8. බොහොම ස්තුතියි මේ ගැන ලිවීමට. ඔන්සෙන් කියන්නේ අමුතුම සංස්කෘතියක්. කියුෂු දුපතේ විශේෂයෙන්ම බෙප්පු වල වෙනම Geothermal එකක් තිබෙන්නේ.


    සදවියම් බ්ලොග් එක ලියන කාලේ මේ ගැන ලියන්න කතා වුනාට ඒක කෙරුනේ නෑ.

    කොන්යොකු වර්ගයේ ඔන්සෙන් කොරියාවේ තියනවද ? තියෙනවා නම් ගිහින් බලන්න කියා කියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මෙහෙ geothermal ඒවා නෑ ගොඩක්.......තියනවානම් එකක් දෙකක් ඇති....අනිත් ඔක්කොම මේ වගේ සෝනා ත් එක්ක හොට් පූල්ස් තියන ඒවා.
      කොන් යොකු ඔන්සෙන් නැත. විශේෂයෙන්ම කියන්න ඕනේ... ගැහැණු අය ඉස්සරහ පිරිමි අය උඩු කය නිරුවත්ව ඉන්නෙත් අඩුවෙන්...හරිම ලැජ්ජයි ඒකට ....බීච් ගියත් උඩට එකක් අඳිනවා....

      බොහොම ස්තුතියි කොමෙන්ට් එකට...පස්සේ දන ඒවත් කියවන්න...

      Delete
  9. කොරියා විස්තර බ්ලොග් එකක් කාලෙකට පස්සෙ..ගොඩක් කාලෙකට ඉස්සර එකක් තිබුනා ඒක නැවතුනා....සතුටුයි දිගටම ලියන්න බලන්න රට රටවල විස්තර දැන ගන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙට ආපු දවස්වල ඉඳන් ලියන්න හිටියත් එක එක හේතු හින්ද මගහැරුණා....ඒත් දැන් හිතෙනවා ලියන්න පටන්ගත්ත වෙලාව හරි කියලත්....

      බොහොම ස්තුතියි කියෙවුවට සහ කොමෙන්ටුවට...

      Delete
  10. ජිම්ජිල් එක මරුනේ. නාල , සවුන ගිහිල්ල නතර වෙන්නත් පුළුවන් කියන්නේ. රුසියාවේ ගැහැණු පිරිමි සෞනා වෙනම තියනවා. . පූල් එකත් ඒ එක්කම. කෑම බීම අරන් එනවා. .බිබී දවසම ඒක කරන්නේ. ඇඳුම් ඇඳගෙන යන්න බහ. ගියොත් හිනාවෙයි. සමහර ඒවා වල ගැහැණු පිරිමි දෙකම් එකට. ජරම්නියේත් ගැහැණු පිරිමි එකට යන්නේ. එංගලන්තේ එකට වුනත් ඇඳුම් අන්දලා ඇතුලට යන්න ඕනේ. ඒ අතින් මේ කොරියන් ක්‍රමය හොඳයි කියල හිතෙනවා. රෑට නිදා ගන්නත් පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. අහ්....රුසියාව ජර්මනිය ගැන දැනන් හිටියේ නෑ........ඔව්....රෑට නවතින්න පුළුවන් හින්ද තමා මෙහෙත් ඒවා ජනප්‍රිය වෙලා තියෙන්නේ.....නිකන් ගිහිල්ලා නාලා කරලා එන්න පොඩි පහේ සවුනා වෙනම තියනවා.....
      බොහොම ස්තුතියි කොමෙන්ටුවට සහ කියෙවුවට.....දිගටම එකතුවෙන්න....

      Delete
    2. සෝනා පටන්ගත්තෙ ෆින්ලන්ඩ් මං හිතන්නෙ

      Delete
  11. ජිම්ජිල් එකකට ගියා වගේ දැනුනා කියවද්දී. එක හුස්මට කියවල ඉවර වුනාම කවදාහරි යන්න ඕන කියල හිතන තැනකට ජිම්ජිල් එකත් එකතු වුණා ...රසවත් කතා රටාව..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි.......ඕගොල්ලෝ වගේ නිතර ලිපි ලියන අයගේ කොමෙන්ටු ඉතා වටිනවා.....මං මේ වැඩේට ගොඩක් අළුත් .....අඩුපාඩු තිබුණොත් අනිවා කියන්න.....ඉස්සරහටත් කියවන්න.....

      Delete
  12. අටමා ගේ පාරෙන් මෙහෙ ආවෙ. විස්තර ඇතුළුව නියමෙට ලියල තියෙනව. වෙනත් රටක වෙනත් රටවල සංචාරය කරල ගන්න සන්තෝසය මමනම් හිතන්නේ නැහැ තරු පහේ හෝටලයක සැපට ඉඳලත් ගන්න පුළුවන් කියල. මමත් හොලිඩේ වලට ගොඩක් සංචාරය කරල තියෙනව. මැප් බලාගෙන gps වලින් නොදන්නා තැන් වල කැලේ ඇවිදල කඳු නැගල හොස්ටල් වල බැක් පැක් ලොජ් වල තවත් නොදන්නා විදේශීය අමුත්තන් සමග කතා කරමින්, කෑම්ප් ටෙන්ට් වල ගිනිමැල ගහගෙන ගත්ත ෆන් අත්දැකීම් කියල වැඩක් නැහැ.

    ඒත් 2014 වසරේ ඉඳල ෆෙස්ටිවල් යන නිසා සංචාරක අත්දැකීම සමග සියලුම අත්දැකීම් එතනින් ගන්න පුළුවන්. 5 නයිට් කෑම්පින් හෙවි මෙටල් මියුසික් ස්ට්‍රීට් ෆුඩ්ස් විවිද ජාතින් ++..

    ඒක රොක් සංගීත ලෝලීන් ගෙ සංස්කෘතික අත්දැකීමක් කිව්වොත් වඩා නිවැරදියි.

    ඇත්තටම කිව්වොත් ලෝකෙ ආචාරශීලි වගේම නිහතමානී ම මිනිස්සු මට හම්බ වෙලා තියෙන්නෙත් ඒ වයේදී.

    දිගටම ලියන්න

    👊🏽

    ReplyDelete
    Replies
    1. ඔබ කිවුවා හරි.....සංචාර කියන්නේ හැමවෙලේම ජීවිතේට අළුතෙන් යමක් එකතු කරණ දෙයක්. එකේ හොඳම දේ තමා මට හිතෙන විදිහට කුතුහලය....ඔබ කිවුව වගේ නොදන්නා තැන වල GPS වලින් යන එක.....කොහේ යයිද කියල දන්නෙත් නෑ ...එත් යනවා...place එක හොයාගත්තතම මාර ෆන්..

      පේන විදිහට ඔබට ගොඩක් අත්දැකීම් තියනවා වගේ සංචාර ගැන....කිවුවා වගේම හම්බෙන උණුසුම් මිත්‍රශීලි මිනිස්සුන් කවදාවත් අමතක වෙන්නේ නෑ.

      බොහොම ස්තුතියි කොමෙන්ටුවට සහ දිරිමත් කිරීමට....

      මං මේ වැඩේට අලුත් වුනත් අටමා හොඳ support එකක් දෙනවා....

      Delete
  13. කොරියාවට කිහිප සැරයක් ගිහිල්ලා තිබුනත් රට ඇතුලේ සංචාරය කරන්න ලැබිලා නෑ. ආසාවෙන් කියව්වා. එහේ හිටියා වාගේ දැනුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි....විශේෂයෙන්ම සතිපතාම වගේ ලිපි ලියන ඔබ වැනි කෙනෙක්ගෙන් කොමෙන්ටුවක් ලැබීම...මං මේකට ගොඩක් අළුත්....ඒ හින්ද ගොඩක් වටිනවා ඔබගේ අදහස්...

      ඉස්සරහටත් කියවන්න...අඩුපාඩු කියන්න....

      Delete
  14. අර 60C උෂ්නත්වයේ බාත් තියෙනව කියල තියෙන්නෙ වැරදීමක් වෙන්න ඕනැ මම හිතන්නෙ. සාමාන්‍යයෙන් උපරිම 42C තියෙන්නෙ හොට් බාත් පූල් එකක.
    60C කියන්න මිනිත්තු 2කදි මැරෙනවා. 50C උනත් මිනිත්තු 5කදි විතර මැරෙනවා.
    හැබැයි සව්නා එකේ 88C විතර තියෙනවා. එතනදි සමට කන්ටැක්ට් වෙන විදිය වෙනස්නෙ.
    මම් ඇවිල්ල හොට් ස්ප්‍රින්ග් වලට ඇබ්බැහි වෙලා කිව්වොත් හරි.
    මාසෙකට දෙවතාවක්නම් යනවා

    ReplyDelete
    Replies
    1. ඔය උඩ ඉන්න කෙන් ජපන් හොට් ස්ප්‍රින් ගැන ලිපියක් ලියනව කිය කිය ඉන්නව , අනේ මන්ද සද්දයක් නෑ ජපන් කෑලක්වත් සෙට් වෙලාද දන්නෙ නෑ.

      Delete
    2. ඔව්...ඔබ හරි.... ආයෙත් හොයල බැලුවා ....42C තමා උපරිම....බොහොම ස්තුතියි ඒ ගැන කිවුවට ...මං නිවැරදි කරන්නම්....
      ස්තුතියි කියෙව්වට.......

      Delete
    3. ඇනෝ-ජපන් සමා,

      මේ ටිකේ අපේ ප්‍රොෆෙසර්ට "ඔකනේ ග නයි" අප්පා. ඒ නිසා ඒ වෙනුවෙන් ටිකක් වැඩිපුර වෙලාව ගෙවෙනවා.

      අලුත් ටිකක් data තියෙනවා හරිගස්ස ගන්න. Data වගේ නෙවෙයි අප්පා මේවට manuscript ලියන්න stories හදන එක. දැන් ඉතින් student කාලේ වගේ නෙවෙයි තනියම එපයි කරගන්න මෙවුවා :D

      Beppu Hoyoland ගියා ලගදි. Hoyoland කියන්නේ ලෝකේ තියෙන ඉතාම දුර්ලභ ගනයේ mud bath ඔන්සෙන් එකක්. කෙලින්ම එකට geothermal source සම්බන්ධ වෙලා තියෙන්නේ. ස්වභාවිකව geothermal heat වෙනස් වීම දැනෙනවා. මාත් සතියකට සැරයක් වගේ ඔන්සෙන් යනවා. දැන් කෆුන්ෂෝ (Pollen Allergy) හැදිලා හරිම අමාරුයි ඔන්සෙන් යන්න විදියක් නැතුව ඉන්නේ :(

      ෆුකුෂිමා ගැන ලියන්න ගතිපු එකත් එහෙමම නැවතුන ඕවා හින්දා.

      ජපන් කෑලි <3 හපෝ උන්ට බොන්න අරන් දීලම මනුස්සයෙක් හිගමනට වුනත් වැටෙන්න පුළුවන් : ))

      මාත් එක්ක ඉන්න ජපන් කෑලි ඉතින් අපේ students ල නේ. ඉතින් බොහොම පරෙස්සමෙන් තමයි එයාල එක්ක ගනුදෙනු කරන්නේ. සෙට් කරගන්න යන්නේ නෑ.

      Delete
  15. අගනා විස්තරයක්. ඒ වගේම ලියවිල්ලත් පංකාදු පහයි! ඇත්තටම කොරියාවට ගිහින් රවුමක් ගහලා ආවා වගේ. දිගටම ලියන්න. අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි......කියවනවට සහ කොමෙන්ටුවට.....මුලින් නම් සැකෙන් වගේ ලිවුවේ....ලියන විදිහ හරියිද කියලා ....කට්ටිය කැමතියි වගේ....

      Delete
  16. අර අටම තමයි පාර කිව්ෙව. ෙම්ක මරු. ෙද්ශාටන විත්ති කියවන්න මාත් සෑෙහන්ට කැමතියි. හැබැයි රට ගිය ෙකෙනක් උනත් ඒ්වා ගැන ලියන්ෙන අඩුෙවං. ඒ් ඉතිං ෙම් ලිවිල්ල පංකාදු හැටයි.
    මං යාංහෑල්ෙල සුරංගයා

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි ඔබගෙන් කොමෙන්ටුවක් ලැබීම ගැන...

      ඇත්තටම මුලින් මං සින්ඩිකේටර් එකක් කියන්නේ මොකද්ද කියලවත් දැනන් හිටියේ නෑ. පස්සේ මගේ කැම්පස් එකේ සුපර් සුපර් සීනියර් අයියා කෙනෙක් තමා අටමයියගේ වැඩ එහෙම කිවුවේ...දවස් කීපයක් ඇතුලත මං ඔබගේ බ්ලොග් එකත් ඇතුළුව තවත් ඒවා කියෙවුවා....ඇත්තටම මේ අදත් කතා වුණා ඔබේ අඩවියේ අනන්‍ය භාෂා විලාශය ගැන.....

      ස්තුතියි.....ඉස්සරහටත් කියවන්න....අඩුපාඩුත් කියන්න.....

      Delete
  17. හරිම අපූරු සජීවී විස්තර කිරීමක්... කොහොමටත් ඇඳුම් නැතුව ඉඳපු සමාජයේ මීට වඩා අපරාද (විශේෂයෙන්ම ලිංගික අපරාද) අඩු ඇති කියලා මට හිතෙනවා. ටෙට්සුකෝ කුරයානගී ගෙ හරි පුදුම ඉස්කෝලෙ පොතේ ඉසා කොබයාෂි ගුරුතුමාත් තමන්ගෙ ඉස්කෝලෙ දරුවො පූල් එකට දාන්නෙ නිරුවතින්. එතකොට කාටවත් කුතුහලයක් තමන්ගෙ ශරීර ස්වභාවය ගැන හීන මානයක් ඇති වෙන්නෙ නෑ. මෙහේ ඔව්වා කරන්න ගියොත් හිංගල බහුජ්ජයෝ රෙද්ද කරට අරං පාරට බහීවි සඟිස්කුරුතියයි සබ්බෙට්ටයි විනාසයි කියලා.
    අටමා තමයි පාර කිව්වෙ.. ජයවේවා දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් එක්ක 100% ක් එකඟයි....එක තේරෙනවා මෙහෙ ඉද්දි...වැඩිහිටියන්ට සහ පිටරට කෙනෙකුට මේගොල්ලෝ ගෞරව කරන හැටි දැක්කහම....සහ කොරියානුවන්ගේ හික්මීම දැක්කාම...වෙලාවකට හිතෙනවා...ලාංකිකයෝ විදිහට අපි හොඳ සංස්කෘතික අංග ඉදිරියට ගෙනියන ගමන් කොහාටවත් නැති ඔලමොට්ටලකන් ටිකකුත් කරපින්නාගෙන යනවා කියලා.....විශේෂයෙන්ම රටින් පිට ඉඳන් බලද්දී එක හොඳට පේනවා...

      අටමයියගේ උදවුවෙන් තමා ගොඩක් අය මේක කියවන තැනට අවේ......

      බොහොම ස්තුතියි කොමෙන්ටුවට සහ කියෙවුවට.....ඉස්සරහටත් කියවන්න...

      Delete
  18. http://www.metmuseum.org/toah/hd/bath/hd_bath.htm

    http://www.rondatoday.com/rondas-arab-baths/

    ReplyDelete
    Replies
    1. Thank you for the links and Wikipedia also reveals some details about the origin and current status of sauna. Here, the difference is accommodation facilities for night.

      Delete
    2. The links are about Muslim countries.

      Delete
    3. yes....later the roman bath house facilities were practiced by the middle east countries too...example: Turkish bath...
      ඇත්තම කිවුවොත්.....මං කැම්පස් ඉන්න කාලේ ක්ෂේත්‍ර චාරිකා සඳහා සහභාගී වෙනකොට වුනත් මගේ මුස්ලිම් යාළුවො....දනිස් දෙකට එනකං කලිසන් ඇඳලා...උඩට ටීෂර්ට් එකක් ඇඳලා තමා හිටියේ.....අහ් ....මං ඉගෙන ගත්තේ සාගර විද්‍යාව....ඉතින් නිතරම මුහුදේ... නැත්තම් කළපුවක...ගං මෝයක....මිරිදිය ජලාශ වලත්.........ඒ අත්දැකීමයි මගේ පාකිස්තාන් සහ ඉන්දුනීසියානු මුස්ලිම් යාළුවො කිවුව එවයි හිතේ තියන් තමා මේක ලිවුවේ.........මටත් ඇත්තටම දැනගන්න ඕනේ.......ඉස්ලාම් ආගමේ.......නිරුවත් වීම පිළිබඳව අර්ථකථනය............

      Delete
    4. අහ් ...තව දෙයක්.....එකපාරක් මෙහෙ මගේ කොරියන් යුනි එකෙන් බුසාන් වල තොන්යොන් කියන ප්‍රදේශයට ට්‍රිප් එකක් ගියා. ඒ පාර නම් ලොකු අමාරුවක වැටුණා නාන්න ගිහින්.....කොමන් වොෂ් රූම් එකක් තිබ්බේ....එකපාර 10 දෙනෙක්ට වගේ නාන්න.....මුස්ලිම් යාළුවෝ උදේම නැගිටලා තනි තනියෙන් දොර වහගෙන නාන්න පටන් ගත්තා.....අපේ අනිත් අයට සිද්ද වුණා කතාවෙලා නාන්න....ඉතියෝපියන්.....වියට්නාම්.....ඉන්දියන්....චීන...කොරියන් යාලුවෝ මාත් ඇතුළුව එකට නාන්න සෙට් වුණා .....එදා ස්ටාර්ටින් ටයිම් එක පරක්කු වෙලා සංවිධායකගෙන් බැනුනුත් ඇහුවා .....පස්සේ අපි හේතුව කිවුවා.....එත් ඉතින් නෝ විසඳුම්.....

      Delete
    5. https://islamqa.info/en/6976

      Delete
    6. Depends on the country and the era too.
      Ottoman Turks must have been more liberal.

      Delete
    7. ///Ottoman Turks must have been more liberal.//////////
      ++++++++++++++

      Delete
  19. නියම විස්තරයක්...
    800-1200 වගේ ගාණකට ඔය පහසුකම් ටික ලැබෙනවා කියන්නේ නිකං හම්බ වෙනවා වගේනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....ඔව් ඒගානට ගොඩක් ලාබයි .....අනික හදිස්සියේ කොහේහරි ගියොත් නවතින්නත් හොඳයි.....කිසිම පෙර සුදානමක් ඕනේ නෑ..

      Delete
  20. සිරාවටම වටිනා පොස්ට් 1ක් . සවානා බාත් නම් ගිහින් තියෙනවා ජිම්පල් ට්‍රය් කරන්ඩ ඔනී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියෙවුවට සහ කොමෙන්ටුවට ......අනිවා ගිහින් බලන්න......විශේෂයෙන් කොහේ හරි යන ගමන් රෑ කට නවතින්න...නැත්තන් සති අන්තේ....

      Delete
  21. එක්කෙනෙක්ට හම්බෙන්නේ තුවා දෙකයිලු. හේතුව දන්නවද...ඉස්සර ඇති තරම් ගන්න දීලා ..ඒගොල්ලෝ ඒවා හොරෙන් ගෙදර ගෙනිහින්

    මේවා පොදු කාරනා ..වාගේ

    ReplyDelete
    Replies
    1. දන්නවනේ ඉතිං.....කොහේ වුනත් එකයි........බොහොම ස්තුතියි කියෙව්වට......

      Delete
  22. බොහෝම සුන්දර රචනාවක්. ඔබේ අත්දැකීම් අන් අයට ඔවුන්ගේම අත්දැකීමක් විදියට දැනෙන්න ලියන්න ඔබට අපූරු හැකියාවක් තියෙනවා.
    මමත් විදෙස් රටකට ගියාම හෝටල් කාමරයේ ඉන්න හරිම අකැමැති කෙනෙක් මට ඕනා ඇවිදින්න. ඔවුන්ගේ සංස්කෘතිය පරිසරය ගහ කොල වගේ හැම දේ ගැනම විමසිල්ලේන් බලන්න.
    ඒත් ඉතින් ව්‍යාපාරික කටයුතු වලට යන කොට එක් රටක සීමිත දින කිහිපයක් ගත කරන කොට, වට පිට විමසන්න ලැබෙන අවස්ථා බොහෝම අඩුයි. ඒ නිසා මේවගේ ලිපි මම බොහෝම රස විඳිනවා.
    මේ ලිපිය කියවන කොට මට මතක් වුනේ මගේ ප්‍රියතම පොතක්, ඒ සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ "සුචිත්‍ර චාරිකා". ඔබත් ඒ වගේ ඔබේ හැකියාවෙන් වැඩ ගන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කියෙව්වට සහ ඔබේ දිරිගන්නවනසුලු කොමෙන්ටුවට......ඔබ කිවුව පොතත් හොයන් කියවන්න ඕනේ......

      Delete
    2. කියන්න අමතක වුනා. මමත් අවේ අටමා පෙන්නපු පාරෙන්ම තමයි.

      Delete
  23. හොඳම සංචාරක සටහනක්. අටමගෙ පාරෙ ආවේ.
    ජේජු දූපත ගැන අපි උගන්නන පාඩමක තියෙනවා කිමිදුම් උපකරණ නැතුව මුතු කිමිදෙන ගැහැණුන් ඉන්න දූපතක් හැටියට. මම හරිද?

    ReplyDelete
    Replies
    1. අහ් ඔව්.....අටමයියා හොඳ සපෝර්ට් එකක් දෙනවා......ඔබ කිවුව හරි....හෙන්‍යෝ (Haenyeo) කියල කොරියන් භාෂාවෙන් කියන්නේ.....නමුත් ඔවුන් කින්මිදෙන්නේ අහාර සඳහා ගන්න බෙල්ලන් විශේෂයක් එකතු කරන්න......දැන් නම් සමහර අය කිමිදුම් උපකරණත් පාවිච්චි කරනවා....එත් ඒක හරිම අවධානම් වැඩක්...විශේෂයෙන්ම ශීත කාලයේ මුහුදේ කිමිදෙන එක......ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ ....සමහර කිමිදුම් කාරියන් අවුරුදු 60 ටත් එහා ආච්චිලා........යුනෙස්කෝව විසින් එගොල්ලොන්ව ලෝක උරුමයක් විදිහට නම් කරලත් තියනවා....ජේජු දුපතේ විතරයි ඉන්නෙත්.....

      ආසයි දැනගන්න ....කුමන පාඩමකට අදාලවද ඒ ගැන උගන්නන්නේ කියලා ........
      බොහොම ස්තුතියි කොමෙන්ටුවට....

      Delete
    2. IGCSE (International General Certificate of Secondary Education) Cambridge Exams- Subject: English as a Second Language

      Delete
  24. අටමා විසින් පාර කියන ලදී..
    රසවත්, හරවත් ලිපියක්..දිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....මේ වගේ නිතර ලිපි ලියන අයගෙන් දිරිමත්කරවන සුළු කොමෙන්ටු ලැබීම ගැන...අටමයියා නැත්තම් මේක තාමත් වේලෙනවා....

      Delete
  25. අලුත් බ්ලොග් එකක් වගේ. හරිම අගනා විස්තර. අටම්ගෙන් පාර දැනගත්තේ.
    මේ වගේ තවත් සංචාරක සටහන් දිගටම ලියන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මං මේ වැඩේට ගොඩක් අළුත් .....අටමයියා නග්ගලා ගත්තේ.....මාතලන්ගේ සම අනුග්‍රහයෙන්.......

      බොහොම ස්තුතියි කියෙවුවට.....සහ දිරිගැන්වීමට....

      Delete
  26. මලාට යන්න වෙන්නේ නැහැ බන් ...රට තොට විස්තර බලලා එන්න කියලා විසා ඉලුවත් මෙහෙ ඉන්න උන් හිටන්නේ ජොබ් එකක් හොයාගන්න රට පන්නින්න යනවා කියලා ...මට මෙහෙ හොද ජොබ් එකක් තියද්දි මම උබලගේ රටේ කබුරන්න එන්නේ නැහැ කියලා උන්ට තේරුම් කරලා දෙන්න පුලුවන්නම් ...
    විස්තරය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අහ්...එක ඇත්ත.....රටේ නැති ඒවා හොයනවා වීසා ගන්න ගියාම.....
      මෙහෙ එන්න අදහසක් තියනවනම්.....පොඩ්ඩක් ට්‍රයි කරන්න ජේජු වලට....මේක සංචාරය සඳහාම ප්‍රසිද්ධ හින්ද වීසා ගන්න එච්චර අමාරු වෙන එකක් නෑ......හැබැයි ඒක ජේජු වලට විතරයි දෙන්නේ මං හිතන්නේ.....රට මැදට යන්න බෑ ........

      ස්තුතියි කියෙවුවට සහ කොමෙන්ටුවට...

      Delete
  27. අඩේ... සුපිරි විස්තරයක්.. ගස්ලබ්බත් උණුවතුර නාන්න ඇබ්බැගි උන එකෙක් නෙව.
    මෙහෙ නම් ස්ටීම් බාත් එකක් ගන්න හරි ස්පා එකකට යනවා කියන්නෙ විකිණෙන වැඩක්.නැත්තන් බඩු පොට් එකකට රිංගුවා වගේ වැඩක් නෙව. හොඳ ආතල් එකක් ගනින්..ඒක ලියපන්.උඹ නියමෙට ලියනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහි වෙනවා තමා....ඒ තරම් සනීපයි නේ.......ස්පා ගියොත් ඉතිං අනිවා බඩු බනිස් තමා.....

      දිගටම කියවන්න....මුලින් ලියන්න එච්චර උනන්දුවක් තිබුනේ නෑ ...මේ කට්ටියගේ කොමෙන්ටුවලින් ආපු ගැම්මට ....දැන් ඉතින් ලියන්න හිතෙනවා...

      බොහොම ස්තුතියි කියෙව්වට සහ කොමෙන්ටුවට......

      Delete
  28. නියම අත්දැකීමක්නේ.!ඒ ආයතන වලට පාඩුවක් නැතිද ඉතින් මේ තරම් අඩුවට මෙච්චර සේවා සපයන එක.

    ReplyDelete
    Replies
    1. සතියකට 3000ත් පන්නලා සෙනග එනවා සාමාන්‍ය එකකට. සෝල් වල තියන ලොකු ඒවාට නම් ඒවගේ දෙගුණයක් එනවා ඇති. ඒ හින්දම පාඩුවක් නැතුව ඇති.....

      බොහොම ස්තුතියි කියෙව්වට සහ කොමෙන්ටුවට......

      Delete
  29. අටම පෙන්නපු පාරෙ ආවෙ මරු

    ReplyDelete
  30. එළ! දිගටම ලියපං මල්ලි..

    ඒක නෙවෙයි මොකක්ද ඔය සියලු හිමිකම් ඇවිරිණි කියන්නේ මම එහෙම එකක් බ්ලොග් වල දැක්කමද කොහෙද ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියව්වට සහ කොමෙන්ටුවට අයියා...

      හාහ් හා.....ඒක මේ කොපි රයිට් නීතියට යටත් කියලා සිංහලෙන් දාන විදිහනේ....... සියළු හිමිකම් අහුරා ඇත කියන එක....

      Delete