Thursday, March 16, 2017

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්.......ජේජු ලව් ලෑන්ඩ්




ලිපියේ අන්තර්ගත කරුණු සහ ඡායාරූප දහස් ගණන් කොරියානු මෙන්ම විදේශීය ජනතාව නරඹන, රසවිදින ඒවා වන අතර.......ලාංකිකයෙක් වශයෙන් කියවන විට ඔබට අපහසුවක් ඇතිවේනම් කියවීමෙන් සහ නැරඹීමෙන් වලකින්න.


        අගෝස්තුවේ ගිණිගහන රස්නෙන් පස්සේ කොරියාවට වැහිකාලේ එනවා. ඒ කියන්නේ සැප්තැම්බර් ඔක්තෝම්බර් වගේ. ජූලි, අගෝස්තු මාස වල තිබ්බ ජලවාෂ්ප වලින් බරවෙච්ච වාතය ටික ටික සැහැල්ලු වෙන්න ගන්නවා. ඒක මගේ පළවෙනි සමර් එක හින්ද ටිකක් අමාරු වුණා. ඇතුළක ඉද්දි නම් අවුලක් නෑ. ඒත් එක පාරට එලියට ආවහම හුස්ම ගන්නත් අමාරුයි. ඒ තරම් වායුගෝලයේ ජලවාෂ්ප වැඩියි. වින්ටර් එකේ නම් ඕකේ අනිත් පැත්ත. ටික වෙලාවක් එළියේ හිටියොත් නාස්පුඩු වේලෙනවා. තොල් පැලෙනවා වේලිලාම. ජේජු දුපතක් හින්ද සමර් එකේ රට මැද වගේ ගොඩක් උෂ්ණත්වය වැඩි වෙන්නේ නෑ . උපරිම සෙන්ටිග්‍රේඩ් 32ක් විතර. රට මැද නම් 38 විතර උඩට යනවා. ඒ කාලෙට සෝල් වල මිනිස්සු හන් ගඟේ අතු ගංගාවකට කකුල් ඔබාගෙන ඉන්නවා මං දැකලා තියනවා.

        කොහොම හරි ග්‍රීෂ්ම කාලේ අවසාන වෙලා වැහිකාලේ අවා. සරත් සමය කියන්නෙත් මේකම තමා. සමර් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියත් වැඩ වැඩි වුණා. අනික හොඳ නිවාඩුවක් සෙට් වුනෙත් නෑ. ඔය අතරේ තමා දැනගත්තේ සැප්තැම්බර් මාසේ දවස් පහක විතර නිවාඩුවක් තියනවා කියලා. ඒකට කියන්නේ තෑන්ක්ස් ගිවින් ඩේ (thanks giving day) කියලා. කොරියන් වලින් නම් "චුසොක්". එදාට මේගොල්ලෝ තමන්ගේ වැඩිහිටියන්ව , ගුරුවරුන්ව කෘතවේදීව සිහිකරනවා. ඒගොල්ලොන්ට තෑගි දෙනවා. මැරිච්ච අයවත් සිහිකරනවා. ඒ සතියේ සුපර් මාර්කට් එකට ගියාම මට ලංකාවේ අවුරුදු කාලෙ කඩවල් මතක් වුණා. බඩු වලින් රාක්ක පුරවලා. තෑගි විදිහට ගෙවල්වලට ගෙනියන්න එක එක දේවල් ගන්න තියනවා. වෙන දවස්වලට ඒවා නෑ.

        මගේ කොරියන් යාළුවෝ  නිවාඩුවට කලින් මාළු මාර්කට් එකට ගිහින් අර සුදුපාට හුණු වගේ ඇඟේ තියන දිග මාළු වර්ගය මිලදී ගත්තා. අපි නම් උන්ට කියන්නේ බෙල්ට් ෆිෂ්. නැත්තම් සිල්වර් ස්කැබර්ඩ් කියලා. ඊට පස්සේ උන්ව අයිස් දාපු ඍජිෆෝර්ම් පෙට්ටිවල පැක් කරලා ගෙවල් වලට යවනවා. ඒක සම්ප්‍රදායක්ලු. මං ඇහුව ඉතින් මාළු නරක් වෙන්නේ නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා, ඒ සතියේ කොහොමත් ලියුම් වලට වඩා මිනිස්සු පෝස්ට් කරන්නේ මාළුලු. ඒ හින්ද විශේෂ වැඩපිළිවෙලක් දාලලු තියෙන්නේ හැකි ඉක්මනින් පෝස්ට් කරන්න. කොහොමත් ලංකාවේ තැපෑල වගේ මෙහෙ පරක්කු වෙන්නේ නැතුව ඇති කියලා මං  හිතාගත්තා. 
 
        අර කිව්ව මාළු වර්ගය අල්ලන්නේ රෑට. හවස හතට විතර පටන් අරන් පාන්දර වෙනකන් අල්ලනවලු. ලයිට් කෝස්  ක්‍රමෙන් තමා අල්ලන්නේ. ලංකාවෙනම් ඔය ක්‍රමේ  තහනම්. මොකද ලයිට් එලියට එකතුවෙන ලොකු පොඩි හැම මාළුවම ඇල්ලෙන හින්දා. ඒත් දැල්ලෝ අල්ලන්න තාමත් කට්ටිය හොරෙන් ඕක කරනවා. මෙහෙ නම් හැම රෑකම  බෝට්ටු සිය ගානක් මුහුදේ ලියිට් ගගහා මාළු අල්ලනවා පේනවා. රට මැද ඉඳන් ආපහු ජේජු එන ගුවන් ගමනකදී මේ වැඩේ උඩ ඉඳන් හොඳට බලාගන්න පුළුවන්. අපේ හොස්ටල් එකේ බැල්කනියට ගියත් හොඳට පේනවා. මට මේ මාළු අල්ලන විස්තර කිව්වේ මෙහෙ ධීවර අංශයේ රැකියාව කරන ලංකාවේ කීපදෙනෙක්. හැබැයි වැඩේ නම් අමාරුයිලු. ගොඩක් කට්ටිය කරන්නේ ටික කාලයක් බෝට්ටුවක ඉඳලා ගොවිපොළවල් වල රස්සාවකට මාරුවෙන එකලු. නැත්තම් මාළු ෆාර්ම් වලට.
 
         දවස් පහක  නිවාඩුවක් එනවා කියන්නේ හොස්ටල් එකේ මං  විතරක් තනිවෙනවා කියන එකයි. හැබැයි මේ පාර නම් පොඩි වෙනසක්. ජුනි මාසේ මුල මෙහෙට අවා වියට්නාම් පොඩි කොල්ලෝ දෙන්නෙක්. තායි සහ රෝයි. ඒ දෙන්නා  ඒගොල්ලොන්ගේ ප්‍රථම උපාධියේ අවසන් මාස කිහිපය ගතකරමිනුයි හිටියේ. මෙහෙට ආවේ මාස හයකට. රිසර්ච් එක කරන්න. අවසන් පර්යේෂණ නිබන්ධනය ලියනවා කියන්නෙත් ඕකම තමා. දෙන්නම එකම වයසේ. අවුරුදු 20යි. නොයෙක් අවස්ථාවල අපි එකට එහෙ මෙහේ ගියත් ලොකුවට ගමනක් යන්න බැරි වුණා. විශේෂයෙන්ම අපි දෙගොල්ලොන්ගේ කාල සටහන් වෙනස් නිසා. ඒ දෙන්නගේ ගත්තහමත් ටිකක් වෙනස්. මොකද ඒ දෙන්නා වැඩ කරෙත් ලැබ් දෙකක. මං  තවත් එකක.

         අවුරුදු 20 ක් වුනත් ඒ දෙන්න අත්දැකීම් සහ හිතන පතන විදිහ අතින් අපේ රටේ සම වයස් අයත් එක්ක සසඳද්දී ගොඩක් වෙනස්. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහෙට එන්නත් ඒගොල්ලෝ ලෑස්තිකරන් තියෙන්නේ කාගෙවත් උදවු නැතිව. ඒගොල්ලෝම හොයාගෙන ඇප්ලයි කරලා. තායි කිව්වා එයාගේ තව යාලුවෙක් නාසා එකට ගියා කියලා. ඉතින් බලන්න. ඒ ළමයි කොච්චර උනන්දුද කියල අවස්ථා හොයාගෙන ඉගෙන ගන්න. අවුරුදු විස්සක් වගේ පොඩි වයසකදී වුනත්. අනිත් වැදගත්ම දේ අවුරුදු 21 න් ඒගොල්ලෝ උපාධියත් සම්පුර්ණ කරනවා.

          ගති ගුණ ගත්තම දෙන්න දෙවිදිහක්. රෝයි ගේ තිබුනේ සම්ප්‍රදායික අදහස්. අනික එයාගේ අදහසක් වෙනස් කරන්න කැමති නැති ගතියකුත් තිබ්බා. තායි එහෙම නෑ. එයාට ඕන දෙයක් ඔට්ටුයි. රෝයිට හොඳට උයන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ පවුලට ගොඩක් සල්ලි නෑ කිව්වා. නංගිලා දෙන්නෙකුත් ඉන්නවලු. අම්මයි තාත්තායි ගෙදර එද්දී උයලා, නංගිලාට කන්නත් දීලා ඉවරයිලු. ගෙදරට බඩු ගන්න යන්නෙත් රෝයි ලු.

          එහෙම කියද්දී තව දෙයක් මතක් වුණා. එක දවසක් දවල් කෑමෙන් පස්සේ අපි මේ ළඟ පාරක ඇවිදින්න ගියා. කෑමෙන්  පස්සේ ඒ වගේ යන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් එළියේ කාලගුණේ හොඳ නම්. එහෙම යන අතරේ තණකොළ පෙත්තෙක් දැකලා රෝයි අහනවා, මුන්ව කාලා තියනවද කියලා. කට්ටිය උඩගියා. කොහමද කන්නේ කියල ඇහුවහම කිව්වේ, ෆ්‍රයි කරලා මාර රසයි කියලා. විෂ නැත්තම් අපේ වටේ තියන ඕනෑම දෙයක් කන්න පුළුවන්  කියලලු වියට්නාම් වැසියෝ කියන්නේ. දැන් නම් එහෙ ආහාර රටාව ටිකක් වෙනස් වෙලාලු. සමහර දවස් වලට රෝයි මාර්කට් ගියාම ගෙම්බොත් ගේනවලු උයන්න.
         
              මෙහෙ ඉන්න කාලේ කීප වතාවක්ම රෝයි අපිට උයලා කන්න දුන්නා. එක එක කෑම වර්ග. විශේෂයෙන් "ප්හෝ" (Pho) කියන නුඩ්ල්ස් රෙසිපි එක. හරක් මස් තම්බපු වතුරෙන් තමා ඒක හදන්නේ. අනික් කෑම වල නම් මතකත් නෑ. මාත් කීප ගමනක් ලංකාවේ විදිහට චිකන්, පරිප්පු එහෙම හදලා දුන්නා. එයාලා කියනවා අපේ කෑම වල රස සංකීර්ණයිලු. ඒ දෙන්නට උයද්දී මිරිස් අඩුවෙන් දාලා උයන්නෙත්. පපඩම් කද්දී කිව්වා , ඒගොල්ලොන්ගේත් ඒවගේ මොකද්ද කෑමක් තියනවා කියලා. අපි ගෙදරදී කරනවා වගේම... මං පපඩම් බදිද්දී ඒ දෙන්නා කනවා හිටු කියලා. ලංකාවෙන් එද්දී මං පපඩම් පැකට් 10ක් විතර ගෙනාවා. දැන් නම් ඔක්කොම ඉවරයි.

             තායි ට ටිකක් සල්ලි තියනවා. රෝයි ට වඩා තායි ගොඩක් දක්ෂ බව මට  තේරුණා. පුදුම මතක ශක්තියක් තියෙන්නේ. එයා  ඉස්කෝලේ වගේම කැම්පස් එකෙත් ප්‍රසිද්ධ චරිතයක්. ගොඩක් සංගම් වල ප්‍රසිඩන්ට් ලු. අපි කොහේ හරි යනවනම්, කලින් ගූගල් මැප් එක සර්ච් කරනවා. එතකොට රූට් එකේ තියන වැදගත් ස්ථාන වල අර දිව පැටලෙන නම් ටික  එක පාර තායිට මතක හිටිනවා. ඒක අපිට ගොඩක් ලේසි වුණා එකට ට්‍රැවල් කරද්දී.
         
              මං ඒ දවස්වල ඉඳන් ඒ දෙන්නට කියා කියා හිටියේ මෙහේ මතකයන් ලියලා තියන්න ඕනේ කියලා. මේ ආර්ටිකල් එක ලියන්න ගන්න කලින් මං  ඒ දෙන්නටම කිව්වා. මේ පාර මං  ලියන්න ඉන්නේ අපි චුසොක් නිවාඩුව ගතකරපු හැටි කියලා. තායි නම් මුහුණු පොතේ ඉන්නවා. රෝයි නෑ. එත් එයා මෙහෙදී පාවිච්චිකරපු "කකාඕ ටෝක්" (Kakao Talk ) කියලා මොබයිල් ඇප්ලිකෂන් එක තාම තියන් ඉන්නේ. ඉතින් එයාටත් මැසේජ් එකක් දැම්මා. ඒ ගැනත් කියන්නම්කෝ. ඒක ජපන්නු හදපු ඔය වයිබර් වගේ ඇප් එකක්. මෙහෙ 100% ක්ම පාවිච්චි කරනවා. එත් ජපානේ නම් ප්‍රසිද්ධ නෑලු. කොරියාවට එන ඕන කෙනෙක් ඔය ඇප් එක අනිවාර්යයෙන් ෆෝන් එකට දාගන්නවා. ලියන්නේ සිංහලෙන් කියලා දැනගත්තත් අරදෙන්නා මගෙන් ලින්ක් එක ඉල්ලගත්තා. ගූගල් ට්‍රාන්ස්ලේෂන් වලින් බලන්නම් කියලා. දෙන්නටම කුතුහලේ මං ලියලා තියෙන්නේ මොනවද කියලා.

             කොහොම හරි ඒ නිවාඩුවට කොහේ හරි යන්න ඕනේ කියල අපි කලින්ම කතා වෙලා තිබුණා. එත් ඒ කොහෙද කියල හරියටම තීරණය කරලා තිබුනේ නෑ. අන්තිමේදී රෝයි ප්ලෑන් එකක් හදලා තිබ්බා. කොටින්ම කිවුවොත් ඒ දෙන්නා හිටියේ අමුතුම පිස්සුවකින්. වයසත් අඩු හින්දා වෙන්න ඇති. සති අන්තේ වුනත් කාමරේ ලයිට්  දාල තියෙන්නේ බොහොම කලාතුරකින්. දැම්මත් රෑට රෑ වෙලා තමා. ඒ කියන්නේ හැමවෙලේම ඇවිදිනවා. ඇවිල්ලා ඉස්සෙල්ලම හම්බෙච්ච සල්ලි වලින් පුෂ් බයිසිකල් දෙකක් ගත්තනේ. මෙහෙ කට්ටිය හිනාවෙනවා. සමර් එකේ සති අන්තවල නම් බීච් ගානෙ ගියා. සමහර තැන් වලට මාත් ගියා. ඒ කතා පස්සේ කියන්නම්කො. දුරින් වැඩිනම් සහ මාත් යනවනම් ඉතින් බස් එකෙන් තමා යන්නේ. අවුවේ බයිසිකල් පැදලම අර දෙන්නගේ අත් දෙකයි මුණයි වෙනපාටක්. ඇඟ වෙන පාටක්.

            කොහොම හරි මේ පාර නිවාඩුවට කොරියාවේ උසම කන්ද නගින්න තමා ලෑස්තිවුනේ. හොඳවෙලාවට  ඒක තියෙන්නේ ජේජු දුපතේ. නැත්තම් ඉතින් කලිනුත් කිව්වා වගේ ෆ්ලයිට් බුක් කරලා දූපතෙන් එලියට යන්න ඕනේ. ඒක ඉතින් ටිකක්  වියදම් වෙන වැඩක්නේ. කොහොම හරි රෝයි ගේ මේ පාර ප්ලෑන් එකට කන්ද නඟින එක විතරක් නෙවේ. ඊට කලින් දවසේ ඇවිදින්න තවත් තැන් කීපයක්ම දාගෙන තිබ්බා.
            කතා කරගත්ත විදිහට නිවාඩු සෙට් එකේ පලවෙනි දවසේ ජේජු සිටි එක අවට තියන තැන් කීපයක් බලන්න දාගෙන තිබ්බේ. මුලින්ම ගියේ ජේජු ලව් ලෑන්ඩ් එකට. පිහිටලා තියෙන්නේ ජේජු සිටි එකේ ඉඳන් කිලෝමීටර් දෙකක් විතර වයඹ දිශාවෙන්. සිටි එකේ ඉඳන් එනවානම් බස් එකේ විනාඩි 20 න් වගේ මෙතන. ටැක්සියක ආවත් මහා ගාණක් යන්නේ නෑ. උපරිම රුපියල් වලින් 800ක් යයි. මේක කොරියාවේ විතරක් නෙවේ මේ අවට රටවල් වලත් ප්‍රසිද්ධයි. එකපාරක් මගේ පකිස්තාන් යාළුවෙක් ඇහුවා ගිහින් තියනවද කියලා. එතකොට මං  ගිහින් තිබුනේ නෑ. එයා හිනාවෙලා කිව්වා ගිහින් බලන්නකෝ කියලා. ඔය හින්දම මාත් මේකට යන්න හිතන් හිටියේ.



ඉස්සරහට පේන හැටි
           ඇතුල්වීම අවුරුදු 18 න් ඉහල අයට විතරයි. කවුන්ටරේ අයට තේරුණොත් 18 ට අඩුයි කියලා, හැඳුනුම්පත චෙක් කරනවා. ඔන්න ඊළඟ වැඩේ. මගේ වියට්නාම් යාලුවෝ දෙන්නා අවුරුදු 20 වුණාට ඊට වඩා පොඩි පාටයි. අපි කලින්ම කතාවෙලා තිබ්බේ අපිව තාත්තයි පුතාලයි වගේ පෙනෙයි කියලා. හිතුව වගේම අර දෙන්නගෙන් හැදුනුම්පත් ඉල්ලුවා. ඒවත් පෙන්නලා ටිකටුත් අරන් ඇතුල් වුණා. ටිකට් එකක් රුපියල් වලින් නම් 900 ක් වගේ. ඔන්න ඇතුළට ගියා. හපොයි..! බලපු බලපු තැන්වල තියෙන්නේ නිරුවත් කාන්තා පිරිමි මූර්ති. ඒ මදිවට ශිෂ්ණ සහ යෝනි ත් අඹලා. පාරවල් පෙන්නන බෝර්ඩ් හදල තියෙන්නෙත් ශිෂ්ණ සහ වෘෂණ කෝෂ විදිහට. ඒ අස්සේ මට මෙහෙමත් හිතුණා . මේකට ලව් ලෑන්ඩ් කියලා කිවුවත් සිංහලෙන් නමක් දැම්මනම්  දන්නා තිබ්බා සුපිරි නමක් කියලා. 



නිර්මාණාත්මක නාම පුවරු

වතුර කරාම
            තායි රෝයි දෙන්නා ඇඹරෙනවා. මං පට පට ගාල ෆොටෝ ගහන්න පටන් ගත්තා. අර දෙන්නා ෆොටෝ එකක් වත් ගන්නේ නෑ. මං  කිව්වා මේවා හදලා තියෙන්නේ බලන්නනේ, ඉතින් හොඳට බලාගන්න කියලා. ඇතුල් වෙන තැනම වතුර කරාම ටික හදලා තියෙන්නේ එක එක වයස්වල පිරිමින්ගේ ශිෂ්ණ වගේ. ටිකක් ඉස්සරහට යද්දී රති කෙළියේ යෙදෙන මුර්තිත් තියනවා. දැන් ඔන්න අර දෙන්නා තවත් ඇඹරෙනවා. රතිකෙලියේ යෙදෙන ඒවා අඹලා  තියෙන විදිහත් විශේෂයි. එක එක ජාතීන් පිළිබිඹු වෙන්න. ඉන්දියානු රෝමානු වගේ ක්‍රම වලට. උද්‍යානය මැද මහා ශිශ්ණයක්....තවත් ටිකක් උඩහින් මහා යෝනියක්. නිකං බැලුවට පේන්නෙත් නෑ. හතරවටේ ඇවිදලා බලන්න ඕනේ. ඒතරම් විශාලයි. ඒ වගේම පොකුණු, වතුර මල් සහ ක්‍රමානුකුලව සකස්කරපු මල් වැටවල් වලින් උද්‍යානය අලංකාර විදිහට හදලා. සමහර තැන වල අපේ මුණ තියලා ෆොටෝ ගහන්නත් පුළුවන්.
උද්‍යානයේ මැප් එක
මහා ශිශ්නය
            මේක ආරම්භ කරලා තියෙන්නේ 2004 වර්ෂයේ. මූලික තේමාව වෙලා තියෙන්නේ කාමුකත්වය සහ ශෘoගාරය. මේ තේමාව යටතේ දකුණු කොරියාවේ හදපු පළමු උද්‍යානය මේක. මුළු වපසරිය අක්කර 10 කට ආසන්නයි. මෙහි මූර්ති නිර්මාණය කරලා තියෙන්නේ සෝල් අගනුවර තියන ප්‍රසිද්ධ  විශ්ව විද්‍යාලයක් වන හන්ගුක් විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ එවකට සිටි ශිෂ්‍යයෝ 20 දෙනෙක් එකතු වෙලා. ඒක ඇහුවට පස්සේ මට හිතුණා අපේ කැම්පස් ළමයි මේවගේ එකක් හැදුවොත් රට්ටු මොනවා නොකියයිද කියලා. කොහොම හරි හැදුවයි කියමුකෝ. ඊට වඩා ලොකුම ගැටලුව පොඩි කොල්ලෝ කුරුට්ටොන්ගෙන් මේක වහල කරලා තියාගන්න එකනේ. ඇයි ඉතිං පුදුම කුතුහලයක් නේ තියෙන්නේ. මේවා ගැන හරි දැනුමක් ලබාගන්න ක්‍රමයක් නැතිවෙනකොට ඉතින් එකෙත් පුදුම වෙන්න දෙයක් නෑ.


විවධ ජාතීන්

you can put a caption


           කොහොම හරි මේකේ ඔක්කොම මූර්ති 140 ක් තියනවා. ඒවාගෙන් 100 ක් එළියේ. අනිත් 40 උද්‍යානෙම පිහිටලා තියන කලාගාර ඇතුළේදී බලාගන්න පුළුවන්. තේමාවට කොච්චර ගැලපෙනවද කිවුවොත් පොකුණු වල ඉන්න ඉබ්බෝ ගෙම්බොත් අඹල තියෙන්නේත් ලිංගිකව එකතුවෙන ආකාරයට. ශෘoගාරය දොරේ ගලා යනවා. එක් කලාගාරක් ඇතුළත ලී වලින් කැටයම් කළ ශිශ්න එකතුවක් තියනවා. විවධ ප්‍රමාණයේ සහ විවධ හැඩයේ ඒවා. ඒවා බලන් යද්දී කැම්පස් කාලේ අපේ බෝඩිමේ තිබ්බ පොතක් මතක් වුණා. බෝඩිමේ හිටපු කොල්ලෙක් පොත් ප්‍රදර්ශනේකින් ගෙනාපු එකක්. ලිංගික අධ්‍යාපනේ ගැන. එකෙත් තිබ්බා ෆොටෝත් එක්කම විවිධ ප්‍රමාණයේ පිරිමි අංගජාත. බෝඩිමේ හිටපු කවුරු හරි මේක කියවනවානම් මතක් වෙයි ඒ පොතේ තිබ්බ අනිත් ඒවත්.



කලාගාරයක්



ශිෂ්න ලී කැටයම් එකතුවෙන් කොටසක්


            එකෙන් පස්සේ තවත් ගොඩනැගිල්ලක ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සහ උපකරණ බලාගන්න පුළුවන්. ඕනේ නම් ඒවා මිලදී ගන්නත් පහසුකම් සලසලා තියනවා. කෘතීම ශිෂ්ණ , යෝනි, ලිංගික කාර්යයේදී භාවිතා කරන ලිහිසි ද්‍රව්‍ය, ගැහැණු පිරිමි කොන්ඩම්, පර පීඩක කාමුකත්වය තියන අය පාවිච්චි කරන ඇඳුම්. ඔන්න ඔය වගේ ඒවා. ඒවගේම උද්‍යානයේ කරපු සංචාරය මතක හිටින්න ගෙනියන්න දේවලුත් තියනවා. කී ටැග්, ස්ටිකර්ස්, වගේ ඒවා. ඒවත් ඉතින් කාමුක දේවල් විදිහට තමා හදලා තියෙන්නේ.


ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය සහ උපකරණ
            ඒ ගොඩනැගිල්ලේම උඩ තට්ටුවේ තියනවා තවත් සිත් ඇදගන්න කලා නිර්මාණ සෙට් එකක්. කොහොමද ඒවා විස්තර කරන්නේ. මෙහෙම කිව්වොත්. කුඩාවට එත් පරිමාණයට හදපු මිනිස් සහ අවට පරිසරය පෙන්වන මුර්ති. ඒවගෙත් පෙන්නන්නේ එක එක අවස්ථාවල ලිංගිකව එකතුවෙන දර්ශන. විශේෂත්වය තමා ඒවගේ ඉන්න මිනිස්සුන්ගේ අංග චලන..බොඩි ලැන්වේජ් එක හොඳටම දිස්වෙන විදිහට හදලා තියෙන එක. එච්චර කුඩා නිර්මාණ වුණත්. මං ගොඩක් ආසා  කරා ඒ ටිකට. අර්ටිකල් එකත් එක්ක තියන ෆොටෝ වලින් ඒවා බලද්දී වුනත්  ඕගොල්ලොන්ට තේරෙයි කොච්චර සජීවී විදිහට නිර්මාණය කරලද කියලා.






ජිම්ජිල් එකක් ඇතුළේ
             ඇවිදින අතරතුර ලංකාවේ කොල්ලෝ සෙට් එකකුත් හම්බුණා. ඒගොල්ලෝ රට මැද ජොබ් කරන අය. දිග නිවාඩුවක් හින්දා ජේජු ආවා කිවුවා ට්‍රැවල් කරන්න. මං දැකපු විදිහට මේක බලන්න පවුල් පිටින් එනවා. ඒවගේම කපල්සුත් එනවා. කට්ටිය ඉතින් හිනා වෙවී කලා නිර්මාණ රසවිඳිනවා. තව මුර්ති තියනවා එළියේ. ඒවත් එක්ක අපිට ෆොටෝ ගහන්න පුළුවන්. එක එක ඉරියව්වෙන් ඉඳලා. දෙතොල් හාදුවක් දෙන ආකාරයට ඉන්න මුර්තියක් ළඟ අපිත් නැවතුණා. තායි රෝයි නම් ඉතින් ළඟටවත් එන්නේ නෑ. මං කිවුවා මගේ ෆොටෝ එකක් ගහලා  දෙන්න කියලා. ඕක ගහද්දි එතනින් ගිය කොරියන් ඇන්ටිලා දෙන්නෙක්, හා...මරු මරු ...තව ලංවෙලා දෙන්න කියලා මගේ පොසිෂන් එකත් හැදුවා.

මේවත් එක්ක ෆොටෝ ගහන්න තියෙන්නේ
              ටික වෙලාවකින් ලංකාවේ කට්ටිය හම්බුණා ආයෙම. ඒ ගොල්ලෝ මුර්තියක් රේප් කරනවා. මොනවා උනත් අපි ටිකක් ලැජ්ජයිනේ. එක්කෙනෙක් කිවුවා..යකෝ මුන්ට මේවා හදන්න පුලුවන්නම් අපි මේවත් එක්ක ෆොටෝ එකක් ගැහුවහම මොකද වෙන්නේ කියලා. තව එක්කෙනෙක් කියනවා... අම්මෝ මේවානම් ගෙදරට යවන්න හොඳ නෑ වැරදිලාවත් කියලා.


            ටිකක් ඉස්සරහට යද්දී අයෙමත් රති කෙලියේ යෙදෙන මුර්ති. ඒවා විශේෂයි. හේතුව තමා ඒවා හදල තියෙන්නේ කාන්තා ආධිපත්‍ය පෙන්වන ආකාරයට. එතනින් ඉස්සරහට එද්දී හෙලවෙන කාර් එකක් දැක්කා. ලංවෙලා බලද්දී ඇතුළෙන් කෙඳිරිලි සද්දෙකුත් ඇහෙනවා. ඒකත් කලා නිර්මාණයක්. මෝටර් එකක් ආධාරයෙන් තමා කාර් එක හොලවන්නේ. ඇතුළේ රෙකෝඩින් එකක් දාල තියෙන්නේ. ඒකෙ ඇතුළෙත් දෙන්නෙක් සෙක්ස් කරන විදිහට. හරිම නිර්මාණාත්මකයි.


කාන්තා ආධිපත්‍ය

             අවසන් හරියේදී පොකුණක් මැද හදපු යෝනියකින් එළියට එන පුරුෂ අංගජාතයක මුර්තියක් තියනවා. පොකුණු කණ්ඩියේ ඉඳන් කෙටි ජැටියක් වගේ එකකුත් පොකුණ ඇතුල් දෙසට හදලා. ලංවෙලා බලද්දී පොකුණු අඩිය කාසි වලින් වැහිලා. මෙතැනදී කරන්නේ අර ජැටියේ කෙලවරේ ඉඳන් යෝනිය වටේ කුහරයට කාසියක් විසි කරන එක. හරියටම වැටුණොත් ගොඩ. ඒ කියන්නේ හොඳ සහකාරියක් හෝ සහකාරයෙක් හම්බෙනවා කියන එකලු. රෝයි කාසි දෙක තුනක් වීසි කරා. ඔක්කොම වැටුණේ පොකුණට. මං ගාව කාසි තිබුණේ නෑ.

කාසි පොකුණ

             ඒ ලඟම බයිසිකලයක් වගේ එකක් පදින්න තිබ්බා. හැබැයි ඒක බිමට සෙට් කරලම හදලා තිබ්බේ. අර එක්සර්සයිස් කරන මැෂින් වගේ. මේකේ විශේෂත්වය ඉස්සරහ රෝදේ විශාලයි. අනික රෝදේ පටි පටි ත් හයි කරලා. දැක්ක ගමන් රෝයි පදින්න කියලා නැග්ගා. පදිද්දී තමා වැඩේ තේරුණේ. ඒක ගැහැණු අයට ස්වයංවින්දනේ කරන්න හදපු මැසිමක්. පදිද්දී අර ඉස්සරහා ලොකු රෝදේ තියන පටි අදාල ස්ථානයේ ගෑවි ගෑවී යනවා. මේ වෙලාවේ වටේ කට්ටියකුත් බලන් හිටිය හින්ද රෝයි ගේ මූණත් රතු වෙලා. මොනවා කරන්නද. අපි හිතුවේ එක්සසයිස් මැසිමක් කියලනේ. පස්සේ අපි දැක්කා අපිට පිටිපස්සෙන් ආපු ඇන්ටිලා ටිකක් තරඟෙට ඒක පදිනවා.


from internet
 
            කොහොම හරි අවසන් වෙනකන් ඔක්කොම බලලා අපි එලියට ආවා. පොද වැස්සක් වගෙත් තිබ්බ හින්දා ඉක්මනට සිටි එකට එන්න පිටත් වුණා. සිටි ආවට පස්සේ බඩගිනියි. ඉතින් අපි හිතුවා තොපුකි කන්න ඕනේ කියලා. තොපුකි කියන්නේ හාල් පිටි වලින් හදන කෑමක්. ලංකාවේ පාර අයිනේ බඩඉරිඟු විකුණනවා වාගේ මෙහේ මේවා විකුණන්න තියනවා. රයිස් කේක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ.  අලුත් අවුරුද්දට අපි කිරිබත් කනවා වගේ මේගොල්ලෝ කන්නේ තොපුකි. ඒ හින්දා මෙහෙ අය විහිළුවට කියනවා එකපාරක් කෑවොත් අවුරුද්දකින් වයසට යනවා කියලා. මේවා එක එක විදිහට හදනවා. කොමන් ම විදිහ තමා චිලි සෝස් දාලා ෆිෂ් කේක් එක්ක කන එක. ටිකක් සැරයි. පැණිරසකුත් තියනවා. ෆිෂ් කේක් කියන්නේ මාළු වලින් හදපු සොසේජස් වගේ රසක් තියන කෑමක්. බඩගින්නේ හිටපු අපිට උණු උණු තොපුකි දිව්‍ය භෝජනේ වගේ. මදි හින්ද ෆ්‍රයි කරපු චිකනුත් ගත්තා. ඊළඟට අපේ ප්ලෑන් එක රැට නැවතිලා හෙට උදේම කඳු නැගීම ආරම්භ කරන එක. නවතින්නේ ඉතින් ජිම්ජිල් එකේ තමා. ජේජු සිටි එක ලඟම වගේ මුහුද අද්දර හොඳ ජිම්ජිල් එකක් තියනවා.

තොපුකි සහ ෆිෂ් කේක්

            මං නිතරම යන එක. "යොන්ඩුවාම් හේසු ලෑන්ඩ්". හේසු කියන්නේ කොරියන් භාෂාවෙන් මුහුදු වතුරට. විශේෂයෙන් රෑට ආපහු එන්න බස් නැති වුණොත් මේකේ තමා ඉන්නේ. පිහිටලා තියෙන්නේ ජේජු එයාර්පෝර්ට් එක ලඟම වගේ. සෝනා එක හදලා තියෙන්නේ මුහුද පේන්න විශාල වීදුරු කවුළුවක් යොදලා. හොට් පූල් එකේ ඉන්න ගමන් මුහුදත් පේනවා. මේකේ උණුසුම් සහ සීතල මුහුදු වතුර පූල් ලුත් තියනවා. එහෙම ඉන්න ගමන් ඒ ලඟින්ම පහත්කරණ තඩි ගුවන්යානා ත් බලාගන්න පුළුවන්. පළවෙනි දවසේ නම් මට මැජික් වගේ.
ජිම්ජිල් එක

             ජිම්ජිල් එකට ඇවිල්ලා හොදට නාල කරලා රිලැක්ස් වුණා. යාළුවෝ වුණත් මෙහෙම එකට නිරුවතින් නාන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මට මතකයි ඉස්සෙල්ලාම දවසේ මං  මේ දෙන්නව ස්විමින් වලට පූල් එක්කන් ගියාම ඇම්බරිච්ච ඇඹරිල්ල. පූල් බහින්න කලින් වොෂ් දාන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රයි සෝනා එකේ ටිකවෙලාවක් ඉඳලා ස්ට්‍රෙචින් කරලා තමා ස්විමින් ට්‍රන්ක්  එක අඳින්නේ. එතකන් නෝ ඇඳුම්. එදා නම් මේ දෙන්නා එලියට එනකන් මගෙ මුණ බැලුවෙත් නෑ හරියට.
            උදේම නැගිටින්න ඕනේ හින්ද කලින් නිදාගන්න ලෑස්ති වුණා. දිග නිවාඩුවක් හින්ද ජිම්ජිල් එකේ සෙනඟ පිරිලා. ගොඩක් අය සෙට් විදිහට ට්‍රැවල් කරන්න ආපු තරුණ අය. සමහරු වටවෙලා කාර්ඩ් ගහනවා. තවත් අය මොනවහරි කමින් කයිවාරු ගහනවා. මේ වගේ දවස් වලට කලින්ම ගිහින් ස්ලීපින් ඒරියා එකෙන් තැනක් අල්ලාගන්න ඕනේ. නැත්තම් වැඩේ අමාරුයි. එක දවසක් එහෙම වෙලා නිදාගන්න සෙට් වුණේ වයසක අන්කල් කෙනෙක් ආසන්නයේ. අම්මෝ...ඒ මනුස්සයාගේ ගෙරවිල්ලට වහලේ ගැලවෙයි කියලා හිතුණා.

කොහොම හරි දවල් තිස්සේ ඇවිද්ද  මහන්සියටත් එක්ක හොඳට නින්ද ගියා.  

මේ විදිහට කන්ද නැග්ග එකත් ලියන්න ගියොත් මේක මාගලක් වෙයි. හපොයි..! නවත්තන්න හිතෙන්නෙත් නෑ. මෙහෙම කරමු. කන්ද නැග්ග එකේ විස්තර එහෙනම් ඊළඟ පාර කියන්නම්.

 


Monday, March 6, 2017

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්......උණු දිය ස්නානාගාර......ජිම්ජිල්බං .......

මුලින්ම  කියන්න ඕනේ දෙවෙනි ආර්ටිකල් එක මෙච්චර ඉක්මනට ලියන්න උනන්දුවක් ඇති වුණේ, පළවෙනි  එක කියවපු අය දුන්න කොමෙන්ට්ස් හින්ද සහ කොමෙන්ටුවක් නොදැම්මත් ආර්ටිකල් එක කියවපු අය හින්ද කියලා. දවස් දෙකක් වගේ ඇතුළත  රටවල් දොළහකින් විතර තුන්සීයකට වඩා වැඩි දනෙක් ඒක කියවල තිබුණා. ඔක්කොටම ගොඩක් ස්තූතියි. මොකද ආධුනික ලියන්නෙකුට  ඒවගේ දේකින් ලැබෙන තෘප්තිය වෙන කිසිම දේකින් නොලැබෙන නිසා.

මෙවර කියන්න යන්නේ විදේශිකයෙක් දකුණු කොරියාවට ආවට පස්සේ අත්දකින්න ලැබෙන තවත් අමුතු ආකාරයේ දෙයක් ගැන. ටිකක් දිගයි හැබැයි. මේ ආර්ටිකල් එක කියවන සමහර අය මේ දිහා කොහොම බලයිද කියලා මම දන්නේ නෑ. ඒ හින්ද විශේෂයෙන්ම කියන්න ඕනේ, මං  මේ කියන දේවල් මේ මොහොතේත් ඒ ඒ රටවල්වල සංස්කෘතීන් හා සබැඳිව අතිශය සාමාන්‍ය අන්දමින් සිදුවන බව. උඩ  තියන වාක්‍ය දෙක ලියන්න පෙළඹුවේ ලාංකීය දූපත් මානසිකත්වය මා තුළත් තියෙන හින්ද කියලයි මට හිතන්නේ.

කොහෙන්ද පටන් ගන්නේ...සමහරවිට මෙහෙම හොඳ වෙයි. මං හිතනවා ඕගොල්ලොන්ගෙන් ගොඩක් දෙනෙක් අහල ඇති ජපානයේ ඔන්සෙන් උණුවතුර උල්පත් ගැන. ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ ගත සිත විඩා නිවන ස්නාන තටාක හැටියට. අපි කවුරුත් දන්නා විදිහට ජපානය කියන්නේ භූ තැටි කිහිපයක් එකට එකතුවෙන ස්ථානයක්. ඒ හින්දම එහෙ භූමි කම්පාත් වැඩියි. භූ තැටි එකට එකතුවන තැන් වලින් පෘථිවි ගර්භයේ පවතින උෂ්ණත්වය මතුපිටට කාන්දුවීමට පටන් ගන්නවා. මේ හින්දම පෘථිවිය මතුපිටට ආසන්නව පවතින භූගත ජල ප්‍රභවයනුත් රත්වෙලා ඒවා උල්පත්වලින් උඩට එන්නේ දුම් දමමින්. ජලයේ පවතින උෂ්ණත්වය හින්දම පසේ තියන විවධ ලවණ වර්ගත් සැලකිය යුතු අන්දමින් මේ ජලයේ දියවෙලා තමයි උඩට එන්නේ.

ඉතින් ඒ කාලේ ඉදන් ජපන්නු විශ්වාස කරා මේ උණු දිය උල්පත්වලින් ස්නානය කරොත් සමේ රෝග අඩුවෙලා ලස්සන වෙනවා කියලා. ඒ වගේමයි ශරීරය ලිහිල් වෙනවා කියලා. දැන් ඕගොල්ලොන්ට මතක්වෙනවා ඇති ලංකාවෙත් උණුවතුර ළිං තියනවනේ කියලා කන්නියා, මදුනාගල එහෙම. සමහරවිට ඒවගෙන් නාලත් ඇති. ඔව්, අන්න එවගේ ඒවා තමා. ඒවා හැදිලා තියෙන්නේ කොහොමද කියලත් පස්සේ හොයලා බලන්නකෝ.

දැන් ඉතින් කොරියාවට එමු. කොරියාවේ ජපානේ තරම් ස්වභාවික උණුවතුර උල්පත් නැති වූනත් අර කිවුව උණුසුම් ජලය සහිත ස්නානාගාර වලින් නම් අඩුවක් නෑ. හේතුව සමහර විට ජපන් සංස්කෘතියේ බලපෑම වෙන්න ඇති.  මොකද කාලයක් කොරියාව ජපනුන් විසින් යටත්කරගෙන සිටි රටක්. ඒ ඉතිහාසය එච්චර හොඳ එකක් නෙවේ. මෙහෙ අය අදටත් ජපනුන්ට බනිනවා. දහස් ගණන් කොරියානුවන් සමූල ඝාතනය කරා කියලා. රටේ සම්පත් සූරා කෑවා කියලා.

මේ දේවල් මාත් මුලින් දැනන් හිටියේ නෑ. පස්සේ මගේ කොරියන් යාළුවො ඒගොල්ලොන්ගේ මුතුන් මිත්තන්ගේ සමූහ මිනී වලවල් වල ෆොටෝ පෙන්නද්දී තමයි දැනගත්තේ. අද වෙද්දීනම් රටවල් දෙක අතර හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයක් තියනවා. එකත් ඉතින් රුසියාවට, චීනය සහ උතුරු කොරියාවට එරෙහිව කලාපීය ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. කලින් කිවුව විදිහට යටත්විජිත සමයේ ජපනුන්ගෙන් මෙහෙට ලැබිච්ච දේවල් අතර ඔය ස්නානාගාර, විවධ කෑම වර්ග දක්වන්න පුළුවන්. හරියට ලංකාවේ අපිට කොකිස්, අච්චාරු වගේ කෑමයි අරක්කු, වයින් වගේ බීමයි හම්බුනා වගේ.

කෝ ඉතින් තාම කියාගන්න ඕනේ වෙච්චදේ කියන්න බැරිවුණානේ. කොරියානු ස්නානාගාර. ඉංග්‍රීසියෙන් බාත් හවුස්. හැබැයි මෙහෙ කියන්නේ ජිම්ජිල්බං (Jimjilbang). කෙටියෙන් කිවුවොත් ජිම්ජිල්. ජිම්ජිල් කියන්නේ රත්වෙන කියන තේරුම. ගොඩක් ඒවා පැය 24 ම ඇරලා. නගරයක ඇවිදිද්දී හදිස්සියේ හොයාගන්න ඕනේ නම් හරිම ලේසියි. මොකද රතුපාට ඒකටම විශේෂ වූ ලාංඡනයක් නිතරම අදාල ගොඩනැගිල්ලේ මුදුනේ තියෙන හින්දා.
ඉහලින් දිස්වන සංකේතය

මං ඉතින් මුලින්ම මේක ගැන දැනගත්තේ මෙහෙමයි. මෙහෙ ආපු මුල් දවස්වල එහෙ මෙහෙ ගිහින් රට තොට විස්තර දැනගන්න පුදුම ආසාවක් තිබ්බේ. හේතුව, අලුත්ම සංස්කෘතියක්. භාෂාව, කෑම බීම, ආචාර විධි, ඇඳුම් පැළඳුම්, ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම, ඓතිහාසික ස්ථාන සහ මූර්ථි, චිත්‍ර වගේ කලාත්මක දේවල් වලත් අපිට නුහුරු නැවුම් ආගන්තුක බවක් තිබුණා. ඉතින් ඒ කුතුහලය හින්දම ලැබෙන පොඩි නිවාඩුවකදි  වුනත් කොහේ හරි යන්න තමා දඟලන්නේ. මගේ මහාචාර්යතුමත් ඉතින් මේ බව දැනන් හිටියා. හැබැයි ඉතින් එතුමා බයයි මං කොහේ හරි ගිහින් අතරමං වෙයි කියලා. දන්නා අය දන්නවා සමහර දේවල්වලට කොරියන් අය කොච්චර බයද කියලා.

ඒකට විසඳුමක් විදිහට එතුමාගේ සහයට හිටපු කොරියන් අක්ක (මෙහෙ භාෂාවෙන් "නූනා"), යන හැම තැනටම මට මැප් එකක් හදල දෙන්න ගත්තා. එකේ මං නවතින්න ඕන තැන්, කන්න ඕනේ දේවල්, ඒවා තියන තැන්, බස් නැවතුම්, දුම්රිය ස්ථාන ඔක්කොම ඇතුළත් වුණා. මුල් දවස්වල ගෙස්ට් හවුස්, හෝටල් වල නැවතුනත් පස්සේ මට තේරුණා ඒවා ගොඩක් ගණන් කියලා. අනික එහෙම ට්‍රැවල් කරණ කොරියන් අය, වැඩිය ඒවගේ නවතින්නෙත් නෑ. පස්සේ නූනා මට කිවුවා ජිම්ජිල්බං නම් ගොඩක් ලාබයි කියලා.

කොහොම හරි එක සතියක දවස් තුනක විතර නිවාඩුවක් සෙට් වුණා. එත් ඉතින් මං ඉන්න ජේජු දූපතෙන් පිටට යනවනම් රුපියල් වලින් අවම 6000 ක් වත් ගුවන් ගමනට යනවා. සල්ලිත් එච්චර අතේ තිබ්බෙ නැති හින්ද මං හිතුවා ජේජු දූපතේම දකුණු වෙරළ තීරය දිගේ විහිදිලා තියෙන සොගිපෝ සිටි එක පැත්තේ රවුමක් දාන්න. වැඩේ කියන්නේ මේවගේ ගමන් වලට මාත්  එක්ක යන්න කවුරුත් මෙහෙ නෑ. මේ ඉන්ස්ටිට්යුට් එකේ ඉන්න එකම විදේශික ශිෂ්‍යයා මම. අනික මේවගේ නිවාඩුවකට හොස්ටල් එකේ ඉන්න කොරියන් යාළුවෝ ඔක්කොම වගේ ගෙවල්වල යනවා. ගොඩක් අය රටේ මැද පදිංචි අය.

ඔන්න ඉතින් මේ පාර නූනා හදපු මැප් එකේ රෑට නවතින්න තිබුණේ ජිම්ජිල් එකක. උදේ ඉඳන් හවස් වෙනකන් ඇවිදලා ඒ පැත්තේ තියන ගොඩක් දේවල් බැලුවා. සොගිපෝ කියන්නේ ජේජු දූපතේ දෙවෙනි ප්‍රධාන සිටි එක. පළවෙනි එක ජේජු සිටි එක. සොගිපෝ මුහුද අයිනේම පිහිටලා තිබුනත් ඒ හරියේ ගොඩක් තැන්  මුහුදු මට්ටමින් මීටර් 10 ක් 15 ක් උසයි. ටිකක් දූපත ඇතුලට එද්දී මේ උස තවත් වැඩිවෙනවා. ඒ හින්දම ඒ පැත්තේ පාරවල් වල යද්දී ජනෙල් කවුළුවෙන්  හරි අගේට මුහුද පේනවා. හවසට නම් හරිම ලස්සනයි. ජනේලෙන් ඈත තෙල් සායම් චිත්‍ර වගේ. අනික ඒ නගරය ගොඩක් පිරිසිඳුයි. හොඳට නඩත්තු කරනවා. නවීන පන්නයේ ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ තියන ගොඩනැගිලි ගොඩක් තියනවා.  වසන්ත කාලේ හින්ද මං යන දවස්වල පාරවල් අයිනේ මල් පිරිලා.



සොගිපෝ 
කොහොම කොහොම හරි හවස් වෙද්දී මං ජිම්ජිල් එක හොයාගත්ත. ඒක තිබුන තැනත් විශේෂයි. ජේජු වර්ල්ඩ් කප් ස්ටේඩියම් එක යට. 2002 අවුරුද්දේ තිබුණ FIFA football වර්ල්ඩ් කප් මැච් වලින් කීපයක් මේකෙත් තිබිලා තියනවා. මේකේ තිස්පන්දාහකට වැඩි ආසන පහසුකම් තියනවා. හදල තියෙන්නේ ගිණිකන්දක විවරයක් වගේ. වහලේ හදලා තියෙන්නේ ජේජු වල තියන සම්ප්‍රදායික මාළු බෝට්ටු වල දැළක් වගේ. ස්ටේඩියම් එකට ඇතුළු වුණාම තේරෙනවා ඒක කොච්චර ලොකුද කියලා. කොරියානුවන්ගේ වර්තමාන ඉදිකිරීම් තාක්ෂණය කොච්චර දියුණුද කියලත් මට හිතුණා.


ජේජු වර්ල්ඩ් කප් ස්ටේඩියම් එක

ඔන්න ඉතින් එදා මගේ රාත්‍රී නවාතැන වෙච්ච ජිම්ජිල් එකේ කවුන්ටර් එක ගාවටම මම ඇවිත්. ඔක්කොටම කලින් මෙතැනදී සල්ලි ගෙවලා ඉන්න ඕනේ. කලින් කිවුව වගේ ලොකු ගානක් යන්නේ නෑ. එක රැයකට රුපියල් වලින් නම් 800 ක් වගේ. වැඩිම වුනොත් 1200 යි. ලොකර් ගාණ තමා ජිම්ජිල් එකේ දාන්න පුළුවන් උපරිම කැපෑසිටි එක. සල්ලි ගෙවුවට පස්සේ ඇතුලෙදි අඳින්න අපේ සයිස් එකට හරියන සැහැල්ලු ටී ෂර්ට් එකකුයි කොට කලිසමකුයි හම්බෙනවා. ඒකත් විශේෂයි. ගොඩක් ඒවගේ පිරිමි අයගේ ඇඳුම් නිල් පාටයි. ගැහැණු අයගේ ඒවා රෝස පාටයි. හැබැයි ඉතින් දෙකම කලිසම් සහ ටී ෂර්ට් තමා. චූටි බබාලටත් ඇඳුම් තියනවා.

ඇතුළෙදි අපේ බඩු සහ ඇඳුම් පැළදුම් දාන්න ලොකර් එකකුත් හම්බෙනවා. අන්න එකේ යතුරත් මේ වෙලාවේම අපිට දෙනවා. තවත් දෙයක්. ජිම්ජිල් එක ඇතුළට සපත්තු සෙරෙප්පු දාගෙන යන්න බෑ. අර ලොකර් යතුරෙන්ම අරින්න පුළුවන් තවත් පොඩි ලොකර් එකක් කවුන්ටර් එක ගාවම තියනවා. ඒකට තමා සපත්තු දාන්නේ. සාමාන්‍ය ප්‍රමාණයේ ජිම්ජිල් එකක මේවගේ ලොකර් 200 ක් විතර තියනවා. ලොකු ඒවගේ නම් 900 ක් 1000 ක් විතර. ඒ කිවුවේ එකපාර්ශවයකට. ගැහැණු අයටත් ඒ වගේම තියනවා.

කවුන්ටර් එක (from internet)

කවුන්ටර් එක ගාව සපත්තු දාන ලොකර් එක (from internet)
ඇතුළට ගිය ගමන් ලොකර් ඒරියා එකෙන් මගේ යතුරට අදාල ලොකර් එක හොයාගත්ත. ඊට පස්සේ ඉතින් බඩු  ටික ඒකට දාල නාගන්න ලෑස්ති වුණා. කලින් කිවුව වගේම මේ නෑම විශේෂයි. ඇඟයි ඔළුවයි දෙකම සැහැල්ලු කරගන්න පුළුවන්. ස්නානාගාරය තියෙන්නේ ලොකර් ඒරියා එකෙන් වෙනම. වීදුරු දොරවල් දාල ඒවාට යන්න පහසුකම් හදලා තියෙන්නේ. ඒ දොරවල් නිතරම වහලා තියෙන්නේ. මොකද ස්නානාගාරය ඇතුලේ උණුවතුරෙන් නැගෙන හුමාලය ලොකර් ඒරියා එකට එන එක නවත්තන්න.

ඔන්න ඊළඟ දේ. ස්නානාගාරය ඇතුළට ඇඳුම් ඇඳන් යන්න තහනම්. කොටින්ම කිවුවොත් නාන්න තියෙන්නේ ඇඳුම් නැතුව. මොනවා කරන්නද ඉතින්...ඔන්න ඔහේ ඕන එකක් කියල ගලවලා මාත් ඇතුළට ගියා. ඇතුළ බොහොම පිරිසිඳුයි. හැමදාම රෑට මුළු බාත් හවුස් එකම පිරිසිඳු කරනවාලු. දවසට දෙපාරක් පූල් වල වතුර මාරුකරනවලු. මේ පිරිසිඳු කිරීමට යොදාගන්නෙත් සෞඛ්‍ය ආරක්‍ෂිත පිරිසිඳුකාරකලු.

ඉස්සෙල්ලාම කුණු අතුල්ලලා හොඳට ෂවර් එකෙන් නාගන්න ඕනේ. එහෙම නාන්න ෂවර් පේළි කීපයක්ම ඇතුළේ තියනවා. දත් මදින්නත් ඕනේ. සබන් ෂැම්පු බොඩි වොෂ්, ටූත් පේස්ට් ...මේ ඔක්කොම ඇතුළේ තියලා තියනවා. ඕනේ නම් ලුණු කුඩුත් තියනවා දත් මදින්න. මං හිතන්නේ කොරියානුවන් සම්ප්‍රදායිකව ලුණු කුඩු වලින් දත් මදිනවා ඇති.  හොඳට ඉඩ තියෙන්න තමා ඇතුළ හදල තියෙන්නේ. ඒ වෙලාවෙත් 50 ක් 60 ක් විතර හිටියා. පොඩි ළමයින්ගේ ඉඳන් වයසක සීයල වෙනකන්. බාත් හවුස් එක හරි මැද උණු වතුර පොකුණු තුනක්. ඒවගේ උෂ්ණත්වය එකින් එකට වෙනස්. පොකුණේ උෂ්ණත්වය ඩිජිටල් ස්ක්‍රීන් එකක පේන්න තියනවා. මතක විදිහට සෙන්ටිග්‍රේඩ් 38, 40,  60  42 වගේ. රස්නේ වැඩිම පූල් එකෙන් (42C) දුම් දානවා.  සිවිලිමේ තියන ලයිට් සෙට් වලින් ඇතුළට සෞම්‍ය එළියක් එක්කරනවා.
උණු වතුර පොකුණු(from internet)

හොඳට නාගත්ත මං උණුවතුර පූල් එකකට බහින්න ලෑස්ති වුණා. මුලින් රස්නේ බලලා හොදයි කියල හිතෙන එකට යන්න පුළුවන්. 40 යි 60යි කියන්නෙත් පිච්චෙනවා වගේ. මට හරිගියේ 38. ඒකට බැස්සා. මුලින් කකුල් දෙක දාගෙන ටිකක් වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉන ගාවට එනකන් බහිනවා. ටික වෙලාවකින් මුළු ඇඟම වතුරේ ගිල්ලනවා. අම්මෝ.... දැනෙන සනීපෙ. මං දැක්ක සමහර වයසක අය නම් කෙලින්ම අර 60ටේ  පුල් එකටම බහිනවා. හපොයි..! අපි එහෙම බැස්සොත් පිච්චිලා මැරෙයි. හැබැයි ඉතින් හුරු උනාම ගානක් නෑ. මොකද පොඩි එවුනුත් ඒවාට බහිනවා.

මං දැනගත්ත විදිහට, මේ උණුවතුර පූල් වලට ඇඳුම් අඳින්නේ නැත්තේ හේතු දෙකක් හින්දා. ඇඳුම් පිටින් බැස්සොත් රෙදිවල තියන විවිධ කෙමිකල් වර්ග මේ වතුරට එකතු වෙනවා....ඒවා සමේ අසාදන වලට හේතු වෙන්න පුළුවන්. අනික ඇදුම් ඇඳන් ඉන්න කාගේ හරි සමේ රෝගයක් තිබුණොත් ඒක ඔක්කොටම බෝවෙන්නත් පුළුවන්. මොකද කාටවත් ඒක පෙන්නේ නෑනේ. උනුවතුර පූල් එකේ විනාඩි 15ක් විතර ඉඳලා ඊටපස්සේ සෝනා (sauna) එකට යන්න ඕනේ කියල හිතුණා. සෝනා කියන්නේ උණුසුම් කරපු කුඩා කාමර. මේවා වර්ග දෙකක් තියනවා. වියළි සහ තෙත්. වියළි එකේ හීටරයකින් කාමරය රත් වෙන්නේ. තෙත් එකේ හුමාලයෙන්. වියළි ඒවාගේ ඇතුළ ලී වලින් හදලා තියෙන්නේ. බිම, බිත්ති, වහළ ඔක්කොම. ස්ටීම් සෝනා එක ගොඩක් වෙලාවට තිරිවානා ගල් ඔබ්බපු බිත්ති සහ වහලෙකින් තමා දකින්න පුළුවන්. මං කැමති ස්ටීම් සෝනා එකට. හුමාලයෙන් හමේ සිදුරු ඇරෙනවා. දාඩිය දානවා හොඳටම. ඇඟේ පරිවෘතීය ක්‍රියා වල වේගය වැඩි වෙනවා. කොරියානුවන් විශ්වාස කරනේ මේ හින්ද දාඩියත් එක්ක ඇඟේ තියන විෂ පිටවෙනවා කියලා. ඒ හින්ද විශේෂයෙන්ම දහඩිය නොදාන ශීත කාලයේ මේගොල්ලෝ මේවට වැඩිපුර එනවා.

වියළි සෝනා (from internet)

ඔය අතරේදී ඉංග්‍රීසි දන්නා අය මත එක්ක කතා කරනවා. එහෙම අය ගොඩක් අඩුයි. එත් දන්නවනම් ඒගොල්ලෝ අනිවාර්යයෙන් කතාකරනවා. කොහෙන්ද ආවේ... මොකද කරන්නේ.....ඔය වගේ දේවල්....පස්සේ පස්සේ මං එගොල්ලොත් එක්ක කතාකරන්න පටන් ගත්තා කොරියන් වලින්...ඒකට ඒගොල්ලෝ හරිම ආසයි....ඕගොල්ලොන්ට නම් මේක මහා අමුතු දෙයක් වගේ දැනෙනවා ඇති....උපන් ඇඳුමෙන් ඉන්න ගමන් මිනිස්සුන්ව අදුරගන්න එක.

සෙන්ටිග්‍රේඩ් 38 ටේ පූල් එකේ වයසක අන්කල් කෙනෙක් මගෙන් ඇහුවා කොහෙන්ද ආවේ කියලා. මං ඉතින් විස්තර කිවුවා. ඊට එහාපැත්තෙන් එයාගේ පුතා. අන්කල් මට පුතාවත් අදුන්වල දුන්නා. එයත් මගේ වයසෙමයි. හැබැයි මාස්ටර් ඩිග්‍රී එකත් කරලා. ඇමෙරිකාවේ කරලා තියෙන්නේ. දැන් සෝල් වල ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්ලු. අන්කල් ඉගෙනගෙන තියෙන්නේ මැටීරියල් සයන්ස් කිවුවා. එයාගේ ඉන්ස්ටිටියුට් එක තියෙන්නෙත් මගේ යුනි එක ළඟමයි. මගෙන් ඇහුවා මැත් ලැබ් සොෆ්ට්වෙයාර් එක දන්නවද කියලා. ඒගොල්ලොන්ගේ කාලෙලු ඒක පාවිච්චි කරන්න පටන් ගත්තේ. අන්කල් ගියා අපි දෙන්නට කතාකරගන්න කියලා. පුතා කිවුවා එයා සෝල් ඉන්න හින්ද නිතරම අම්මයි තාත්තයි බලන්න වෙන්නේ නෑ කියලා. මාසෙකට සැරයක් ගෙදර එනවලු. මගෙන් ඇහුවා කොරියාව කහොමද කියලා...ගෙදර අයයි ...කෑම බීම එහෙම මතක්වෙනවා ඇති නේද කියලා......කොහොමහරි ගොඩක් දේවල් කතා කරලා අන්තිමට සුබපතලා එයා ගියා. ඔක්කොම ඉතින් උපන් ඇඳුමෙන්. හාහ් හා.....

අහ්....මේ වෙලාවේ මට මතක් වෙනවා අපිට කොරියන් භාෂාව උගන්නන මහාචාර්යතුමිය කිවුව දෙයක්. වින්ටර් එකේ නම් එයා සතියට පාරක් සෝනා යනවලු. අපෙනුත් ඇහුවා ගිහින් තියනවද කියලා. එතකොට මං එක පාරක් ගිහින් තිබ්බා. මං කිවුවා ඔව් කියලා. අනිත් තුන්දෙනා සද්ද නෑ. එතකොට තමා මහාචාර්යවරියට තේරුණේ වැඩේ. ඒ තුන්දෙනාම මුස්ලිම්. ඒගොල්ලොන්ට ඇඳුම් ගලවන්න බෑනේ. ඊට පස්සේ මහාචාර්යතුමිය ඇහුවා ඔගොල්ලොන්ගේ රටවල්වල පබ්ලික් බාත් හවුස් තියනවද කියලා. ඒකට ඉතින් ඔක්කොමලා නෑ කිවුවා. යාළුවෝ දෙන්නෙක් ඉන්දුනීසියාවේ. අනික් කෙනා පාකිස්තානේ. කොහොමහරි එදා මහාචාර්යතුමිය මට කිවුව ...ඊළඟ අවුරුද්දේ යුනිවර්සිටි එකේ කොරියන් කථික තරඟෙට ජිම්ජිල් එකේ එක්ස්පීරියන්ස් එක දාලා කතාවක් හදන්න කියාලා. ඇත්තම කිවුවොත් මේ දවස්වල මං ඒක පුරුදු වෙනවා.

සෝනා එකෙන් පස්සේ ගොඩාක් අය සීතල පූල් එකට පනිනවා. එකනම් ටිකක් අමාරුයි. එකපාරටම ඇඟ කූල් වෙලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝ නම් මාරුවෙන් මාරුවට සීතල සහ රස්නේ පූල් වලට මාරු වෙවී ඉන්නවා. එකෙන් ඇඟේ කැලරි දහනය වෙනවා කියල තමයි කියන්නේ. ඒකියන්නේ කෙට්ටු වෙන්න කැමති අයට හොඳයි. ඇඟට මහන්සියක් දැනුනොත් දිගාවෙලා නිදාගන්න තැනුත් තියනවා. ලැජ්ජා වෙන්න දෙයක් නෑ. ඔක්කොම ඉන්නේ උපන් ඇඳුමෙන්නේ.

මට නම් ගියාම අපහසුම දේ හොරෙන් හොරෙන් මෙහෙ අය බලන එක. කොරියාවේ සංචාරය කරපු විදේශිකයෙක් තමන්ගේ බ්ලොග් අඩවියේ මෙහෙම ලියලා  තිබ්බා මං දැක්කා. "ජිම්ජිල් එකේ නානකොට මට හිතුනේ මං නිකන් පිට රටක විලකට ආපු සංචාරක පක්ෂියෙක් වගේ '' කියලා. විශේෂයෙන් අපේ හම කළු හින්ද කහපාට කොරියානුවන් අතරින් කැපිලා පේනවා. පොඩි එවුන් නම් කට ඇරන් බලන් ඉන්නවා. සමහර පොඩි කට්ටිය ටික වෙලාවකින් මාත් එක්ක හොඳට යාළු වෙනවා.

ලොකු පොඩි කියලා...අයියා මල්ලී  කියලා ....තාත්තා පුතා කියලා වෙනසක් නෑ.... ඔක්කොම උපන් ඇඳුමෙන් නානවා. ඒවගේමයි...පිටවල් අතුල්ලගන්නවා...ඒ වෙලාවට හැමෝම මිනිසා කියන සතා පමණයි...ඇඳුම් ආයිත්තම් වලින් අලංකාර කරගත් ඇඟ ...සමහර වෙලාවට අපේ නිලය...වත් පොහොසත්කම මනින දෙයක්නේ...ඒත් මට හිතෙනවා මේ සංස්කෘතිය අපිට කියලාදෙනවා කියලා ...හැමෝම මිනිස්සු....ඉපදෙනවා....මැරෙනවා...කියන එක....එක් කෙළවරක තමන්ගේ වයසක තාත්තාගේ පිට අතුල්ලන තරුණ පුතා ...තවත් තැනක අවුරුදු දෙකක් වගේ වයසේ පොඩි පැට්ටෙක් වඩන් ඉන්න තාත්තා කෙනෙක්...මටනම් ඉතින් පූල් එකේ බැහැල සනීපෙට ඉන්න ගමන් හිතන්න දේවල් ගොඩයි....

වෙලාවකට හිතෙනවා මෙහෙදී පවුලේ කට්ටිය අතර තියන සම්බන්ධතාවය කොච්චර ශක්තිමත්ද කියලා...මේගොල්ලෝ එකිනෙකාට ආදරය ප්‍රකාශ කරන්න පැකිලෙන්නේ නෑ...සමහර දවස්වලට අපේ කොරියන් ක්ලාස් එක ඉවර වෙද්දීත් කියන්නෙත්  "කියුසුනීම්...සාරාං ඉයෙයියෝ.."...ඒ කියන්නේ කොරියන් වලින් මහාචාර්යතුමියනි...ඔබට ආදරෙයි කියල.

ඔක්කොම පූල් වලින් නාලා ...සෝනා එකෙත් ඉඳලා ...අන්තිමට ආයෙත් කුණු අතුල්ලලා හොදට නාගන්න ඕනේ. කුණු අතුල්ලන්න පාවිච්චි කරන පොඩි රෙදි පටිත් එතන තියනවා. උණුවතුරෙන් පෙඟිලා හින්ද මැරුණු හම හොඳට අයින් වෙනවා. කොරියානුවන් නම් මේ දෙවෙනි වර නාන එක පැය බාගයක් විතර කරනවා. ශරීරයේ හැම කොටසක්ම හොඳට අතුල්ලලා නාගන්නවා. එහෙම කරන්න කම්මැලි නම්...බාත් හවුස් එක ඇතුලෙම ස්ක්‍රබින් කරන කෙනෙක් ඉන්නවා. ඕනේ නම්,ස්පෝර්ට්ස් මසාජ් එකක් කරගන්නත් පුළුවන්. හැබැයි ඉතින් වෙනම ගෙවන්න ඕනේ. රුපියල් වලින් 2000 ක් විතර.

මං ඉතින් නොර්මල් එකේ නනා ඉන්නකොට , තවත් අන්කල් කෙනෙක් ඇවිත් කතාවට වැටුණා. එයත් ජේජු දූපතේ ට්‍රැවල් කරන්න ඇවිත් සෝල් ඉඳන්. මගෙන් ඇහුවා ස්ක්‍රබ් එක ට්‍රයි කරලා තියනවද කියලා. මං  ඉතින් නෑ කිවුවා. ඊට පස්සේ එයා මාව එතනට එක්කන් ගිහින් එයා ගානේ ස්ක්‍රබ් එකක් අරන් දුන්නා. ගොඩක් වෙලාවට ජිම්ජිල් වල සේවය කරන අය චීන ජාතිකයෝ. පිරිසිඳු කරන්න, ස්ක්‍රබ් කරන්න ඉන්නෙත් එගොල්ලොමයි. හේතුව නම් හරියටම දන්නේ නෑ. කොහොම වුනත් අර අන්කල් ඒ මනුස්සයට මගේ විස්තරත් කිවුවා. විශේෂයෙන්, ඉගෙන ගන්න ආපු කෙනෙක් කියලා. අම්මෝ අතුල්ලනවා අතිල්ලිල්ලක් ...හම ගැලවෙන්න. පළවෙනි පාර හින්දද දන්නේ නෑ. රිදුනත් එක්ක.

ස්ක්‍රබ් කිරීම (from internet)
අර අන්කල් මාත් එක්ක ගොඩක් යාළු වුණා. එයා ප්‍රයිවර්ට් කම්පැනි එකක බිස්නස් ප්ලෑනින් ඇඩ්වයිසර් කෙනෙක්. බාහිර කථිකාචාර්ය කෙනෙක් විදිහටත් වැඩ කරනවා. එනකොට එය ඇවිත් තියෙන්නේ නැවෙන්. කාර් එකත් අරගෙනම. දෙවෙනි දවසේ එයත් එක්ක ට්‍රැවල් කරන්න කියලත් මට ඉන්වයිට් කරා. පස්සේ දවසක සෝල් වලදීත් එයාව හම්බුණා. එයාට ඉන්නේ දුවයි පුතයි. විශේෂ දෙයක් තියනවා. හනිමූන් එකට එයාලා ගිහින් තියෙන්නේ කැලිෆෝර්නියා වලට. හනිමූන් එකේ දෙවෙනි දවසේ මේ මනුස්සයා ස්කයි ඩයිවින් කරලනේ.....අර ප්ලේන් එකේ උඩ ඉදන් බිමට පනින්නේ....වයිෆ් උඹට ඕනේ නම් මැරියන් කිවුවලු....මටනම් හිතාගන්නත් බෑ....සෝල් ගිය වෙලාවේ එයා මාව එක්කන් ගියා එයාගේ ඇඩ්වයිසස් අරන් සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ගාවටත්. දැන් හිතනකොට.... ඔය ඔක්කොම දේවල් ජිම්ජිල් එක හින්දනේ.

හොඳට නාගත්තට පස්සේ බාත් හවුස් එකෙන් එලියට ආවා. එලියට එද්දිම තුවා තියනවා පිහගන්න. ඇතිතරම් තියනවා. හැබැයි ගැහැණු අයගේ පැත්තේ නම් මේක ටිකක් වෙනස්ලු. එක්කෙනෙක්ට හම්බෙන්නේ තුවා දෙකයිලු. හේතුව දන්නවද...ඉස්සර ඇති තරම් ගන්න දීලා ..ඒගොල්ලෝ ඒවා හොරෙන් ගෙදර ගෙනිහින්. ඊට පස්සේ ඉතින් දෙකයි හම්බෙන්නේ. පිහාගත්තට පස්සේ මිරර් ඒරියා එක. දිගට සවිකරපු ලොකු කණ්නාඩි තියනවා. ඒවා ඉස්සරහ ක්‍රීම් , ආෆ්ටර් ෂේව් , කොටන් බඩ්ස් ...හෙයාර් ක්‍රීම් ...තියනවා. කොන්ඩේ වේලාගන්න හෙයාර් ඩ්රයර් එහෙමත් තියනවා. එතන වැඩ ඉවර වෙලා අන්තිමට අර ඇඳුම ඇඳගන්නවා. ඔක්කොමලා එකවගේ ඇඳගෙන ඉන්නේ. ඒකත් මරු. ඊටපස්සේ බඩගිනියි වගේ දැනුණ හින්ද මොනවහරි කන්න තැනක් බැලුවා. ඊට වඩා තිබහයි. ඇයි දාඩිය දැම්මනේ.

නිදාගන්න තියෙන්නේ වෙනම තට්ටුවක. එක ගොඩක් ලොකුයි. ලස්සනට හදල තියනවා. එක ඇතුළෙම ස්නැක් බාර් එකක් සහ වෙනම ප්‍රධාන ආහාර වේල් තියන රෙස්ටුරන්ට් එකකුත් තියනවා. කෑම ගණනුත් නෑ. ස්නැක් බාර් එකේ විවධ බීම වර්ග...කෙටි කෑම... අයිස්ක්‍රීම් එහෙම තියනවා. ශිකේ කියල බත් සහ බාර්ලි දාල හදන බීමක් තියනවා. මම බොන්නෙත් ඒක. සීනි ලුණු එක්ක කූල් කරලා එහෙම හදලා තියෙන්නේ. තිබහට ගොඩක් හොඳයි. තව බේක් ක‍රපු කිකිළි බිත්තරත් තියනවා. ඒවා දුඹුරු පාටයි. සම්ප්‍රදායක් විදිහට මේගොල්ලෝ බිත්තර  කාල ශිකේ බොනවා. අහ්හ්... තව ග්‍රීන් ටී  එහෙමත් තියනවා. බිත්තරේ කට්ට කඩන්නේ  කාගේ හරි ඔලුවට ගහල....ඒ විහිලුවට....විශේෂයෙන්ම තරුණ අය....

ස්නැක් බාර් (from internet)

පෝක් කට්ලට් (තොන්  කස්ස)
නිදාගන්න තියන ඒරියා එක ගැහැණු පිරිමි ඔක්කොටම පොදුයි. පොඩි කොට්ට වගේ ඔළුවට තියාගන්න පුළුවන් ඒවා තියනවා. තව පැදුරු වගේ රෙදිවලින් හදපු බිමට එලාගන්න ඒවා තියනවා. ඒ දෙක අරන් තමන්ට කැමති තැනකින් නිදාගන්න තියෙන්නේ. රෑ වෙද්දී ලයිට් නිවනවා. ඔක්කොම නෙවේ. ටිකක්. තව ඕනේ නම් මෙතනත් උෂ්ණත්වය වැඩි කාමර තියනවා නිදාගන්න. සෙන්ටිග්‍රේඩ් 30, 35 වගේ. ඒවාට කියන්නේ "බුල්ගාමා" කියලා. ඇතුළ සුවඳයි. ඖෂධීය ගුණයක් තියන ගස් වර්ගයක ලීයෙන් ඒවා හදල තියෙන්නේ. අර සුවඳ සිත කය දෙකම ලිහිල් කරනවා. සමහර කාමර වල ඒ ගස්වල දර වලින් පෝරණුවක් දැල්වෙනවා. විශේෂයෙන් ශීත කාලයේ. සෝල් වල මං ගිය එක ජිම්ජිල් එකක හිම කාමරෙකුත් තිබ්බා...ඇන්ටාර්ක්ටිකාවට ගියා  වගේ.
 
ස්ලීපින් ඒරියා එක (from internet)
"බුල්ගාමා" නැත්නම් රස්නේ කාමර (from internet)

හිම කාමරේ (from internet)
එකපාරක් කොරියාවේම ඉන්න මගේ යාළුවටත් මේ අත්දැකීම අරන් දෙන්න ඕනේ වුණා. කලින් එයාට කිවුවේ නෑ රෑට නවතින්නේ ජිම්ජිල් එකක කියලා. කොහොම හරි හවස්වෙද්දී මං කිවුවා. එයාටත් වැඩි ගානක් නෑ. එදා අපි ගියේ සෝල් වල තියන ප්‍රසිද්ධම ජිම්ජිල් එකට. "ඩ්‍රැගන් හිල් ස්‌පා" එකේ නම. යොන්සාන් සබ්වේ ස්ටේෂන් එකෙන් එලියට එද්දිම දකුණු පැත්තෙන් පේන්න තියනවා. තට්ටු හයක සුපිරි ජිම්ජිල් එකක්. එළියේ ස්විමින් පූල් එකකුත් තියනවා. කවුන්ටරේට සල්ලිත් ගෙවුවට පස්සේ තමා මං යාළුවට කිවුවේ කොහොමද ජිම්ජිල් එකේ ඉන්න ඕනේ කියලා. අහ්... කියන්න බැරිවුණානේ. එයා ගැහැණු ළමෙක්. හැබැයි සම්ප්‍රදායික නෑ. වැලයන පැත්තට මැස්ස ගහන කෙනෙක්.

අන්තිමේදී මං ඇහුවා කොහොමද එක්ස්පිරියන්ස් එක කියලා. මොනවා වුණත් අපි ඉතින් ලැජ්ජයිනේ. එයාටත් යාළුවෝ හම්බෙලා. චීනේ කෙල්ලෙකුයි කොරියවේම කට්ටියකුයි. කොරියාවේ එක්කෙනා නම් පූල් එකේ කණ්ඩියක් උඩට වෙලා බීම එකක් බිබී හිටියා කිවුවා. ඒ වතාවේ මට විදේශිකයෝ ගොඩක් හම්බුණා. ශිෂ්‍ය හුවමාරුව යටතේ මෙහෙට ආපු ඇමෙරිකන් කොල්ලෝ තුන් දෙනෙක්...රුසියානු සංචාරකයෝ කීපදෙනෙක්, යුක්රේන් ජාතික ශිෂ්‍යයෝ දෙන්නෙක් සහ අප්‍රිකානු රටක කළු ජාතිකයෙක්. මෙහෙදී විදේශිකයෙක් හම්බුනා කියන්නේ කතා සාගරයක් තමා. මොකද ඔක්කොම ඉන්නේ කතාකරන්න කෙනක් නැතුව. වටපිට ඉතින් කොරියන් ඔන්ලි නේ....


ඉතින් බලන්න.....ජිම්ජිල් එකක නවතිනවානම් අපේ බෑග් එකේ බර කොච්චර අඩුවෙනවද...කලින් විස්තර කරපු කිසිදෙයක් ගෙන්න ඕනේ නෑ. හොටෙල්, ගෙස්ට් හවුස් වගේ ගණනුත් නෑ. කන බොන දේවලුත් ඇතුළේම තියනවා..කියන්න අමතක වුණා . එක්සර්සයිස් කරන අයට ජිම් එකකුත් තියනවා.....ඔන්න ඕව හින්ද තමා මෙහෙ අයත් ජිම්ජිල් වලම නවතින්නේ...නැත්තම් පුරුද්දක් විදිහට පවුල් පිටින් සති අන්තේ දවසක් ගතකරන්න එන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හින්දම ජිම්ජිල්බං කියන දේ වර්තමානයේ කොරියාව තුළ හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ඒ හින්දම ඇතිවෙලා තියන තරඟකාරීත්වය ඒවගේ ගුණාත්මක බව වැඩිවෙන්නට හේතුවෙලා.

දැන් ඉතින් ඇති...කොරියාවේ ඉන්න තාමත් ජිම්ජිල් ගියෙ නැති අයටත්... එන්න ඉන්න අයටත්....අඩු වියදමෙන් කොරියාවේ ට්‍රැවල් කරන්න ඉන්න අයටත්... මගේ කතා අහන්න කැමති අයටත්.....ටිකක් දිග වුනත් මේ විස්තරය වැදගත් වෙයි කියලා හිතනවා... බොහෝවිට මෙහෙම දෙයක් ලියැවෙන පළවෙනි අවස්ථාවත් මේක වෙන්න ඇති.

අන්තිමේදී දවසේ එකතු කරගත්ත මතකයි.....හෙට දවසේ දල සැලැස්මයි එක්ක සැහැල්ලු සිතින් මාත් නින්දට වැටුණා.


**************© සියළුම හිමිකම් ඇවිරිණි.****************

මේකත් කියවන්න:










Tuesday, February 28, 2017

දකුණු කොරියාවේ සංචාරය කරන ගමන්........නොර්යන්ජින් මාළු මාර්කට් එක....

ආතක් පාතක් නැතුව මේ ලියන ලිවිල්ල ඕගොල්ලොන්ට කොහොම තේරෙයිද දන්නේ නෑ .....ඒ උනත් මේව ලියන්න ඕනේ කියල හිතුනේ මේ ඔක්කොම මතකතියාගෙන ඉද්දි ටික කාලෙකින් අමතක වෙන හින්දා. අනික  මං හැමවෙලේම කැමතියි  එදිනෙදා  ලබන අත්දැකීම් මගේ යාළුවොත් එක්ක බෙදාගන්න තියනවනම්. කොරියාවට ආවට  පස්සේ ඒ ගතිය ගොඩක් වැඩිවුණා. මොකද තනියම ඉද්දි ඒ අවශ්‍යතාවය වැඩිපුර දැනෙන හින්දා.
අපිට ඉතින් ඩයරි  ලියල පුරුද්දක් නැනේ...මේ වැඩේ ටිකක් හරි ලේසි වෙන්නේ  ෆෝන් එකේ මැසේජ්  කොටනවා වගේ ආදාන මෙවලම්   එකෙන් කොම්පියුටර් එකේ ටයිප්  කරන්  යන්න පුළුවන් හින්ද කියලත්  මතක්කරන්න ඕනේ....නැත්තම්  ඉතින් මොන සිංහල  ටයිපින්ද...මේ බ්ලොග් එක නම් ගොඩක් පරණයි. 2014 දී තමා හැදුවේ. එත් පාවිච්චීකරේ  නෑ. මේ වැඩේටම පොඩ්ඩක් සුද්ද බුද්ද කරලා ගත්තේ. තව දෙයක් කියන්න ඕනේ ...මං මේ විස්තර ලියන්න පාවිච්චිකරන්නේ නිදහස් භාෂාවක්...අවශ්‍යතාවය තියෙන්නේ හිතේ තියන දේ කියන්න විතරයි...එකත් කියවන කෙනාට දැනෙන විදිහට ....

මෙහෙට ඇවිල්ල දැන්  අවුරුද්දක්  වෙනවා...අහ්  ඔව්.. අද පෙබරවාරි 28 නේ ...හරියටම 2016 යේ  පෙබරවාරි 28 වෙනිදා  මං ආවේ...අවුරුද්දක ඒවා ලියන්න තියනවා...හිතට එන එක ලියන්න තමා  වෙන්නේ..කියවන කවුරුහරි ඉන්නවනම් ඒකට සමාවෙන්න.....මොකද කිසිදෙයක් පිළිවෙලකට ලියවෙන්නේ නැතිහින්ද ....

මුලින්ම ලියන්න හිතුනේ මමයි  මගේ කැම්පස් එකේ යාලුවෙකුයි  එකතුවෙලා සෝල් වල අවිදින්න දාගත්තු  ට්‍රිප් එකේ එක තැනක් ගැන....අපි දෙන්නම කොරියාවට ආවේ උසස් අධ්‍යාපන කටයුතුවලට. එත් අපි දෙන්න ඉන්නේ තැන් දෙකක. මම ජේජු දුපතේ. ඒ කියන්නේ කොරියානු අර්ධද්වීපයේ දකුණු කෙළවර. යාළුවා ඉන්නේ වයඹදිග වෙරළ තීරයට ආසන්න ඉන්චේයෝන් වල. ඉතින් මං සෝල් එනවනම් ඒක පැයක ගුවන් ගමනක්. යාළුවට නම් දුම්රියෙන් පැයක ගමනක්. සෝල් කියන්නේ දකුණු කොරියාවේ අගනුවර. සෝල් වල ඇවිදින කාට උනත් හිතාගන්න පුළුවන් ඒක කොච්චර සැලසුම් සහගතව හදපු නගරයක්ද කියලා. පොළොව යටට තට්ටු ගණන් විහිදෙන උමං  දුම්රිය මාර්ග ඒකට හොදම උදාහරණයක්...ඒවගෙ  විස්තර මං  පස්සේ වෙලාවක  කියන්නම්.

දැන් කියන්න හදන්නේ නොර්යන්ජින් මාළු මාර්කට් එක ගැන. මේක පිහිටලා තියෙන්නේ සෝල් වල දකුණු ප්‍රදේශයට වෙන්න. උමං දුම්රියේ එනව නම් සෝල් ස්ටේෂන් එකේ ඉඳන් විනාඩි දහයකින් විතර මෙතෙන්ට එන්න පුළුවන්. ඒ එන අතර සෝල් සිටි එක හරහා විශාල වානේ ආරුක්කු පාලම් යටින් ගලා බහින හන් ගඟත් බලාගන්න පුළුවන්. අපි දෙන්න උදේටත් කාල තව කෝපිත් බීල තමා එන්න පිටත් වුනේ. වෙලාව දහයට විතර වෙන්න ඇති. ටිකක් අව්ව පායලා තිබුනත් ශීත ඍතුවේ මැද හින්ද  සීතලයි. මාර්කට් එක ලඟම නොර්යන්ජින් ස්ටේෂන් එක තියන හින්ද ගොඩක් ලේසියි. ස්ටේෂන් එකේ ඉදන් මීටර් 70 ක් විතර පැත්තකින් මාර්කට් එක තියෙන්නෙ. දැන් ඉතින් ඕගොල්ලෝ හිතනව ඇති මොකද්ද මේකේ තියන විශේෂත්වය කියලා. ලංකාවෙත් ඕනෑතරම් මාළු  මාර්කට් තියන එකේ.
ගූගල් සර්ච් හි නොර්යන්ජින් 
මාළු මාර්කට් එක
හන් ගඟට යාබදව එහි පිහිටීම
                                                 


විශේෂත්වය තමයි, අපෘෂ්ඨ වංශී සහ පෘෂ්ඨ වංශී පණ තියෙන කරදිය සත්තු බලාගන්න පුළුවන් එක... ඒ විතරක් නෙවේ...උන්ව මිලට ගන්නත් පුළුවන් සැහෙන ලාබෙට ...මොකටද කියල අහුවොත් ඉතින් ....කෑමට තමා. සමහර විට මේක කියවන කෙනෙක්ට මේ දේ එච්චර දැනුනේ නැති උනත් සමුද්‍ර ජීව විද්‍යාව හදාරපු කෙනෙක් විදිහට මට නම් එතන සජීවී විද්‍යාගාරයක් වගේ. මගේ යාලුවටත් පිස්සු හැදිලා හිටියේ. ඉස්සර කැම්පස් එක ඉස්සරහ මුහුදු වෙරළට ගිහින් සත්තු හොයපු අපිට මේක දැක්කම පිස්සු හැදෙන එක අහන්න දෙයක් නෑ.  මුහුදු කූඩෑල්ලන්, මෘතෝපජීවී පණුවන්, ඉකිරින්,ඉස්සන් වර්ග, බෙල්ලෝ වර්ග, බූවල්ලන්, කුඩා සහ යෝධ කකුළුවන්, විවිධ මසුන්, සහ වියළා සකස්කළ කරෝල වර්ගත් එතන තියනවා. ලංකාවේ අපි මාලුවෙක්, ඉස්සෙක් කාල  නිකන් හිටියට  මෙහෙ අය විවිධාකාර මුහුදු ආහාර කෑමට ගන්නවා. සත්තු වගේම ශාක වර්ගත්....විශේෂයෙන්ම මුහුදු ඇල්ගී වර්ග. කොරියානුවන්ගේ අවුරුදු අසූවක  අනූවක උපරිම ආයු කාලයට ඒවත් බලපානවා ඇති.

ඉහල සිට මාර්කට්  එකේ එක් තීරුවක් පෙනෙන අයුරු 

මේ මාර්කට් එක පටන් අරන් තියෙන්නේ 1927 අවුරුද්දේ. ඒ කියන්නේ අවුරුදු අනූවක් පැරණියි. මුළු දකුණු කොරියාවේම  තියන විශාලම මාළු මාර්කට් වලින් එකක්. තව ලොකු එකක් තියෙනවා බුසාන් නගරයේ. මෙහි මුලික අරමුණ තොග සහ සිල්ලරට ධීවර නිෂ්පාදන විකිණීම සහ සංචාරක, සංස්කෘතිකමය වටිනාකමක් නගරයට එක්  කිරීම කියන කාරණා. අනික් වැදගත් කාරණාව තමා දිනකට ටොන් 250 -300 ත් අතර ධීවර නිෂ්පාදන මෙහිදී අලෙවි වන බව. පාන්දර එකට විතර තමයි මේගොල්ලෝ වැඩ පටන්ගන්නේ...සිල්ලරට ගන්න යනවනම් හොදම වෙලාව උදේ. අර කිවුවා  වගේ සෝල්  එන සංචාරකයින්ගෙන් බොහෝ දෙනෙක් මෙතෙන්ට එන්න අමතක කරන්නේ නෑ.

සජීවී මුහුදු බෙල්ලන් 

Sea skirts/ tunicates
හැබැයි ඒගොල්ලෝ ගොඩක්  එන්නේ දවල් කෑම වෙලාවට. ඒක හින්දම අපි දෙන්නත් ගියේ දවල් කෑම  වෙලාව අල්ලලා. දැන් ඕගොල්ලෝ බලනවා ඇති ඒ මොකටද කියල....අයෙත් ඉතින් කියන්න තියෙන්නේ.... කන්න තමා. මාර්කට් එකේ ඇවිදලා ඔක්කොම දේවල් දැකබලාගත්තට පස්සේ තමන් කැමති දෙයක් මිලදීගන්න පුළුවන්. දවල් කෑම වෙලාව වෙද්දී, වෙළෙන්දෝ ලඟම නිල්පාට ඒප්‍රන් එකක් වගේ දාගත්ත කට්ටියක් ඉන්නව. ඒගොල්ලෝ වැඩකරන්නේ බ්‍රෝකර්ල විදිහට. අපි ගන්න සත්තුන්ව ඒ වෙලේම උයල දෙන රෙස්ටුරන්ට්ස් ගොඩක් ඒ අවට තියනවා. අර කට්ටියට ඉන්නේ ඒවගේ තැන්  පෙන්නන්න.
ජපානේ එහෙම ගොඩක් ප්‍රසිද්ධ සුෂී ගැන ඕගොල්ලෝ දන්නවා ඇතිනේ. ඒ කියන්නේ නැවුම් අමු මාළු. ඒවා කන්න ආසනම් මෙතන කියාපු තැන. ලංකාවේ අයට නම් එක එච්චර හුරු දෙයක් නෙවේ. මොකද අපි මාළු කන්නේ තුනපහ රසටනේ. එත් මෙහෙ අය කැමති මාළුවාගේ නියම රස බලන්න. පෞද්ගලිකව මම සුෂී වලට එච්චර කැමති නෑ. එත් සැමන් මාළු වලින් හදපු සුෂී සහ සශිමි කන්න නම් ආසයි. සැමන් කිවුවේ ටින් කරපුව නෙවේ. ඇත්ත සැමන් මාළු. උන්ගේ මස් තැඹිලි පාටයි. ඔමේගා -3 තියන හින්ද ගොඩක් ගුණයි කියල තමයි කියන්නේ.
සැමන් සුෂී
යෝධ කකුළුවෝ
දවල් වීගෙන එද්දී අපි දෙන්නටත් බඩගින්නක් දැනුණා. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෝ විදිහට මෙතන තියන ඔක්කොම දේවල් නම් කන්න අපිට බැරිබව තේරුණා. පස්සේ අපිදෙන්නා කතාවෙලා ගාණ  අඩු තැනකින් ඉස්සෝ ගත්තා. ඊටපස්සේ බූවල්ලෝ පස් දෙනෙක් ගත්තා. ඉස්සො නම් ගන්නකොටම  මැරිලා හිටියේ. බූවල්ලෝ නම් පණපිටින්. මං  කලින් මෙහෙදි  දඟලන අඬු තිබුන බූවල්ලෝ සුෂී කාලා තිබුණා. එත් යාළුවා එහෙම කාලා  තිබුණේ නැති හින්ද මට ඕනේ උනා එයාටත් ඒ අත්දැකීම අරන්දෙන්න. එත් එයා කිවුව ඔයා බූවල්ලෝ කන්න මං ඉස්සෝ විතරක් කන්නම් කියල. පස්සේ අපි අර බ්‍රෝකර් කෙනෙක්ට කතා කරල රෙස්ටුරන්ට් එකකට ගියා. එකේ සෙනග පිරිලා හිටියා. මුලින් අපි ගෙනාපු දේවල් කවුන්ටර්  එකට බාරදෙන්න ඕනේ. ඒකට අංකයක් දෙනවා. ඊට පස්සේ ඒවා උයන තැනට ගෙනියනවා. අංකයෙන් හරියටම අපි ගෙනාපු දේවල් අපිටම හම්බෙනවා. ඒගොල්ලෝ අහනවා කොහොමද උයන්න ඕනේ කියල. ඉස්සෝ බාර්බකියු  දාන්න කිවුව අපි. මොකද වෙන ක්‍රම වලට හැදුවොත් උන්ගේ මස් දියවෙලා කන්න දෙයක් ඉතුරුවෙන්නේ නැතිහින්ද. බූවල්ලෝ ටික කන්න හිතුවේ කොරියාවේ සම්ප්‍රදායික විදිහට හදන සුප් එකක් වගේ ක්‍රමේකට. එක හදන්නේ ලොකු ඇතිලියක. ළුණු, සුදුළුනු, තුනපහ, තව කොළ වර්ග එහෙම ඒකට දානවා. එත් එක්කම අර බූවල්ලොත් දාල අපි ඉන්න මේසේ උඩම පොඩි ගෑස් ලිපක් උඩ උයන්න තියෙන්නේ. මෙහෙ කෑම ගොඩක් වෙලා උයන්නේ නෑ. ඉතින් අරක ඉදෙන ගමන්ම කන්න තියෙන්නේ.
දැල්ලන් සහ බූවල්ලන්

මිටි මේස තිබුණ හැමතනම. ගොඩක් ඒවාගේ කට්ටිය ඉඳගෙන තලු මරමරා කනවා. හිස් වෙච්ච මේසයක් බලලා අපි දෙන්නත් ඒක වටේ බිම වාඩි වුණා. එතන හොදයි. ජනේලයක් ගාව. ගොඩනැගිලි අතරින් සෝල් වල උසින් වැඩිම ගොඩනැගිල්ලක් වන ගෝල්ඩන් ටවර් එකත් පේනවා. එකට එහෙම කියන්නේ ඉර එලිය වැටුනම ඒක රත්තරන් පාටින් ආලෝකය පරාවර්තනය කරන විදිහට හදල තියන හින්ද. අපේ අනිත් පැත්තේ මේසෙ  කොරියාවේ නොවන ගැහැණු දෙන්නෙක් මහා තඩි කකුළුවෙක් කමින් ඉන්නව. ඒ එක කකුළුවෙක් දෙන්නෙක්ට කන්න වැඩිත් එක්ක. වෙලාවකට ඒ දෙන්න කකුළු අඬු අස්සේ තියන මස් සුරුස් ගාලා  අදිනවා. කොරියාවට ආපු මුල් දවස්වලනම් මිනිස්සු කනවිට ආපු මේ අසාමාන්‍ය සද්ද අමුතු දෙයක් උනත් දැන් ඒවා එච්චර ගානක් නෑ. එත් අපිට නම් එහෙම කන්න හිතෙන්නේ නෑ. මේ වෙලේ මට මතක් වෙනව මගේ කාමරයේ ඉන්න යාළුවව. එය කොරියන් කෙනෙක්. අපි දෙන්න හොස්ටල් එකේ එකට කද්දී මං  සද්ද නැතුව කන හින්ද එයත් එහෙම කන්න උත්සාහ කරනවා. මං දන්නවා ඒක එයාලට කොච්චර අමාරු දෙයක්ද කියලා. කොටින්ම කියුවොත් නූඩ්ල්ස් රැල්ලක් සුරුස් ගාල  ඇද්දේ නැත්තම් කෑවේ නෑ වගේ තමා.

 ඒ අතරේ වැඩකරන කෙනෙක් ඇවිත් අපේ මේසෙට ඉටි රෙද්දක් දාල එක උඩින් කූල් වතුර, කෝප්ප, තසිම් එහෙම තියලා ගියා. ඊලගට අපේ බූවල්ලෝ ඇතිළිය ගෙනාව. පොඩි ගෑස් ලිපක් මෙසේ උඩ තියලා එකෙන් ඇතිළිය තිබ්බා. ගෑස්  එක ඔන් කළා. ඔන්න දැන් යාළුවා අහක බලාගෙන. මොකද බූවල්ලොන්ගේ අඬු දඟලනවා. බූවල්ලන්ට අමතරව ඒකට ලොකු මාළු ඔලුවකුත් දාලා.  ටික ටික ඇතිළිය රත්වෙන්න ගත්තා. බූවල්ලන්ගේ දැඟලිල්ලත් නැවතුණා. එකෙන් අපු සුවඳට බඩගින්න තවත් වැඩි වුණා. ඒ අතරේ සයිඩ් ඩිෂ් විදිහට කිම්චි, අමු මිරිස්, සලාද කොළ, සුදුළුනු, වසබි සහ සෝයා සෝස් ගෙනත් තිබ්බ. ටික වෙලාවකින් බාර්බකියු කරපු රන් තැඹිලි පාට  වෙච්ච ඉස්සෝ දීසියත් ආවා. වසබි කිවුවේ අර කලින් කිවුව සුෂී කන්න පාවිච්චි කරන කොලපාට ටිකක් සැර සෝස් එකක්. කිම්චි කියන්නේ ගෝව රාබු වගේ ඒවාට විනාකිරි මිරිස් දාල හදන අච්චාරු වගේ කෑමක්. කිම්චි ගැන වෙනම මං පස්සේ කියන්නම්කො. අපේ බූවල්ලෝ ඇතිළිය බුබුළු දදා රත්වෙනවා. එහාපැත්තෙ මේසේ දෙන්න කිවුවා   දැන් ඉදුනා  ඇති කන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ චීනෙ දෙන්නෙක්. අපිට බත් ඔර්ඩර් කරන්න කියලත් කිවුව. බතුත් අරන් අපි කන්න පටන් ගත්තා. සුප් එක පදමට ඇවිත්. බත් එක්ක කද්දී ගොඩක් රසයි. සලාද කොලයක් උඩින් ඉස්සෙක් තියල එකට සෝස් ටිකක් දාල ඕනේ නම් සුදුළුනුයි බත් ටිකකුයි තියල ගුලිකරලා කටේ ඔබාගන්න ඕනේ. එහෙම කද්දී මාර රහයි. ඒ වගේ කද්දී මට හිතෙනවා, ඉස්සර අපි ටීවී එකේ ජපන් කොරියන් මිනිස්සු එහෙම කනවා දකිද්දී , අපිටත් කවද හරි එහෙම කන්න වෙයි  කියල හීනේකින්වත් හිතුනේ නැති බව.
බූවල්ලන් සහිත සුප් ඇතිළිය

ඉස්සන් සහ සයිඩ් ඩිෂ්
අහ් තව දෙයක් කියන්න ඕනේ. කූරු දෙකෙන් නැත්නම් චෝප්ස්ටික් වලින් කන එක ගැන. උපන්දාසිට අතින් කාපු අපිට ඒක ටිකක් අමාරුයි. සමහර විට ටිකක් නෙවේ ගොඩක් අමාරුයි. මෙහෙට ආපු දවස්වලම මගේ කොරියන් යාළුවෝ ප්‍රැක්ටිස් කරන්න කියලා චෝප්ස්ටික් අරන් දුන්නා. ඒ චෝප්ස්ටික් වල  කූරු  දෙක එකට සෙට් කරලා  හදලා තියෙන්නේ. තව ඇඟිලි දාගන්න මුදු වගේ රවුම් තුනකුත් තියනවා. බරත් අඩුයි. මුල් දවස්වල නම් ඕකෙන් කෑවත් පස්සේ මට හිතුණා ඒක මතක සටහනක් විදිහට ලාච්චුවේ දාලා තියාගන්න ඕනේ කියලා. ඒ වෙනුවට මං  හුරු වුණා එක කූරකිනුයි හැන්දෙනුයි කන්න. බලන අයටනම් ඒක මහ අමුතු දෙයක් වුනත් මට ඒ ක්‍රමේ ගොඩක් ලේසි වුණා. ඒත් මහාචාර්යතුමත් එක්ක එහෙම කන්න යද්දි අමාරුවෙන් වුනත් චෝප්ස්ටික් පාවිච්චි කරනවා. නැත්තම් ගෑරොප්පුවක්  ඉල්ලගන්නවා.

චීනෙ දෙන්න කාලා  ඉවරවෙලා යන්න ලෑස්ති  වුණා. අපි ඉතින් කෑවේ බොහොම හෙමින්. අරදෙන්නා නැගිට්ටා විතරයි තව දෙන්නෙක් එතන ඉඳගත්ත. දවල් දොළහට විතර හින්ද සෙනග වැඩි වුණා. අලුතෙන් ආපු දෙන්න කපල් එකක්. ඒගොල්ලෝ එද්දීම  සුෂී දීසියක් ගෙනත් තිබුණ. රෙස්ටුරන්ට් එකෙන් ඒගොල්ලෝ සෝජු ඔර්ඩර් කරා. සෝජු කියන්නේ මෙහෙ ජනප්‍රියම අරක්කු වර්ගය. ඇල්කොහොල් ප්‍රතිශතය 21% යි. අපි ඉතින් ඒ දෙන්නා  දිහා එහෙන් මෙහෙන් බලන් හිටියා. දෙන්නා චියර්ස් කියල වැඩේ පටන්ගත්තා. කෙල්ලත් බොනවා කොල්ලට දෙවෙනි නොවෙන්න. ඒ අතරේ සුෂී කනවා. ඔය අතරේ අපි දෙන්න කතා වුණා ඊළඟපාර යෝධ කකුළුවෙක් අරන් කන්නයි සෝජු බොන්නයි. ඒ අතරේ අපේ රටවල් වල සංස්කෘති ගැනත් ඉතින් කතා වුණා. මොකද අර වගේ කෙල්ලෙක් අරක්කු බොනවා දැක්කොත් නැන්දම්මගෙන් අහගන්න වෙන ඒවා ගැන. කොහොම වුනත් මේක තමා සංස්කෘතික විවධත්වය. ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. එත් ඒ මිනිස්සු තමන්ට ගැලපෙන විදිහට ජීවන පැවැත්ම හැඩගස්වාගෙන ඉන්න බව පේනවා. කෑම කාලා ඉවරවෙච්ච අපි දෙන්නත් රෙස්ටුරන්ට් එකේ ගාස්තුව ගෙවලා ආපහු එන්න පිටත් වුණා.

තවත් අත්දැකීමකින් ඊලඟ පාර හමුවෙමු. කියවපු අය පොඩි කොමෙන්ටුවක් එහෙම දැම්මට කමක් නෑ. ඒක ගොඩක් වටිනවා ඊළඟට ලියනදේ හොඳට ලියන්න.



************© සියළුම හිමිකම් ඇවිරිණි.************